අලි පැටවුන් අනාතකර යුක්තිය ඉටුකරගත් අලි හොරු..!
යුක්තිය ඉටු විය යුත්තේ අලි හොරුන්ට නොව අලි පැටවුන්ට ය
පාර්ලිමේන්තුවෙන් සම්මත වී රට තුළ ක්‍රියාත්මක වන අණ පනත් වලට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව යුක්තියේ මූලධර්ම මත පදනම්ව අධිකරණය මඟින් ලබා දෙන තීන්දු තීරණ විවේචනය කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත. එසේ වුව ද රටේ ක්‍රියාත්මක අණ පනත් නොසලකා හරිමින් යුක්තියේ මූලධර්ම වලට පිටතින් යමින් මහේස්ත්‍රාත්වරයකු තම අභිමතය පරිදි තම හිත මිතුරන් බේරා ගැනීමට හා අනාගතයට බලපාන වැරදි පූර්වාදර්ශ ලබා දීමට හේතු වන තීන්දු තීරණ ලබා දෙන්නේ නම් එ් පිළිබඳව විවේචන කිරීමේ ශුද්ධ වූ අයිතියක් ඕනෑම පුරවැසියකුට තිබේ. එවන් වැරදි තීන්දු තීරණ හරහා ලබා දෙන වැරදි පූර්වාදර්ශ හේතුවෙන් අනාගත අධිකරණ ක්‍රියාවලිය උඩු යටිකුරු වීමට පවා හැකියාව ඇත.
නීති විරෝධීව කැළයෙන් අල්ලාගෙන රඳවාගෙන සිටි අලි පැටවුන් පිළිබඳ නඩු විභාග වල දී සමහර මහේස්ත්‍රාත් අධිකරණ වල හැසිරීම ප්‍රශ්නකාරීය. පසුගිය දා කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබා දුන් තීරණයකට අනුව නඩු භාණ්ඩ ලෙස පවතින, නීති විරෝධීව විවිධ පුද්ගලයින් සන්තකයේ තබා ගෙන සිටිය දී අත් අඩංගුවට පත් වූ අලි පැටවුන් 15 ක් නැවත මාස තුනක කාලයකට පෙරහැර කාර්යය සඳහා නිදහස් කිරීමට නියෝග කෙරින. එ් අතරතුර ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කැළයෙන් අල්ලාගෙන නීති විරෝධීව බලපත්‍ර නොමැතිව රඳවාගෙන සිටි අලි පැටවුන් පොදු දේපල ලෙස සැලකිය නොහැකි බවට කිසිදු පදනමක් නොමැති වැරදි අර්ථකථන ලබා දෙමින් හා නොදැනුවත්ව නීති විරෝධීව අලි පැටවකු ලඟ තබා ගෙන සිටි බවට සඳහන් කරමින් වරෙන්තු ලබා සිටි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඇප ලබා දුන්නේය.
මෙහි දී වැදගත් වන්නේ තිළිණ ගමගේ මහතාට ඇප ලබා දීම හෝ නඩු භාණ්ඩ ලෙස රඳවා තබා සිටි අලි පැටවුන් පෙරහැර කාර්යයන් සඳහා යෙදවීමට කෙටි කාලයකට අවස්ථාව ලබා දීම හෝ පමණක් නොවේ. 2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ හා 1982 අංක 09 දරන පොදු දේපල පනතේ වගන්ති වලට වැරදි අර්ථකථන ලබා දීමෙන් අනාගතයේ දී සිදු විය හැකි වනජීවී අපරාධ වලට මඟ පෙන්වීමක් මේ තුළින් ඇති වන නිසා ය. තම හිතවතුන් බේරා ගැනීමට අනාගත අධිකරණ ක්ෂේත්‍රයම උකසට තැබීමට ගිහාන් පිලපිටිය හා කණිෂ්ක විජේත්න යන මහේස්ත්‍රාත්වරුන් ලබා දුන් තීන්දු තීරණ පිළිබඳව නීතියට අවනත සියලු ජනතාව කම්පනයට පත් ව සිටී. එපමණක් නොව බොහෝ දෙනෙකුට අධිකරණය පිළිබඳව තිබූ විශ්වාසය දරුණු ලෙස බිඳ වැටෙමින් තිබේ.
පසුගිය රජය පැවති සමයේ දී රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ අලි පැටවුන් ජාවාරම නතර කිරීමට වත්මන් රජය බලයට පත් වූ පසුව සාධනීය උත්සාහයක් ගැනෙමින් පැවතුනු කාල වකවානුවක අධිකරණයේ පක්ෂග්‍රාහී හැසිරීමෙන් පෙනී යන්නේ යහපාලන රජය තුළ නීතියේ අධිපත්‍යය අධිකරණය විසින් ම කෙළෙසා දමන බව ය.
පසුගිය කාලය තුළ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත නීති විරෝධීව රඳවාගෙන සිටි අලි පැටවුන් 38 ක් පමණ අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර තිබේ. නීති විරෝධීව රඳවාගෙන සිටින තවත් අලි පැටවුන් 10 කට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත. ගිහාන් පිලපිටිය හා කණිෂ්ක විජේරත්න මහේස්ත්‍රාත්වරුන් පසුගිය දින වල ලබා දුන් වැරදි තීන්දු තීරණ හේතුවෙන් හා වැරදි අර්ථකථන හේතුවෙන් නීති විරෝධී අලි පැටවුන් සඳහා සිදු කෙරෙන සියලූ අධිකරණ ක්‍රියාවලීන් උඩු යටිකුරු කිරීමට හැකියාව ඇත. සංවිධානාත්මකව සිදු කෙරෙමින් පවතින්නේ මේ ක්‍රියාවලිය බව මේ දෙස විශ්ලේෂණාත්මකව බැලීමේ දී පෙනී යයි.
පසුගිය කාලය මුලූල්ලේම රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ අලි පැටවුන් ජාවාරමට බොහෝ පිරිසක් සම්බන්ධ වූහ. නීති විරෝධීව වනාන්තරයෙන් අලි පැටවුන් අල්ලන්නන්, අල්ලාගත් අලි පැටවුන්ට නීති විරෝධී බලපත්‍ර සකස් කරන්නන් හා එම සතුන්ව විකිණීමේ කාර්යයේ නිරතවන්නන් පිරිසක් බිහි විය. එම කාර්යයන් සඳහා නීතිමය උපදෙස් ලබා දීමට තවත් පිරිසක් බිහි විය. මේ සඳහා නීතීඥවරුන්, මහේස්ත්‍රාත්වරුන්, ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේලා පමණක් නොව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරු ඇතුළු නිලධාරීන් පවා සම්බන්ධ විය. එපමණක් නොව පශු වෛද්‍යවරුන් කිහිපදෙනෙකුම මේ ජාවාරම සඳහා සෘජුව සම්බන්ධ විය. තව ද හිටපු ජනාධිපති තුමන්ගේ සිට දේශපාලකයින් කිහිපදෙනෙකුම මේ අලි පැටවුන් ජාවාරමේ හිමිකරුවන් බවට පත් වී ඇත.
මෙය ඉතාම සූක්ෂමව ක්‍රියාත්මක වූ ජාවාරමක් වූ අතර මෙය දෙවෙනි වන්නේ අප රට තුළ ක්‍රියාත්මක වන හෙරෝයින් ජාවාරමට පමණි. කණගාටුවට කරුණ වන්නේ උත්තරීතර බුදු දහම සමාජගත කිරීමට සිටින වර්තමාන නියමුවන් වන මහ නාහිමිවරු ඇතුළු ස්වාමීන්වහන්සේලා ගණනාවක් අලි පැටවුන් ජාවාරම සාධාරනීකරණය කරමින් සමාජයට වැරදි පූර්වාදර්ශ ලබා දීමට ඉදිරිපත් වීම ය.
අද වන විට බොහෝ පිරිසක් උත්සාහ දරන්නේ පෙරහැර සඳහා භාවිතයට ගැනීමට හීලෑ අලි – ඇතුන්ගේ විශාල හිඟයක් පවතින බව හුවා දැක්වීමට ය. නමුත් අද වන විට හබරණ, සීගිරිය, දඹුල්ල හා පින්නවල ප්‍රදේශ වල හීලෑ අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් සංචාරක කර්මාන්තය සඳහා යොදවා ඇත. එම කිසිදු සතෙකු පෙරහැර කාර්යයන් සඳහා භාවිතයට ගනු නොලැබේ. ඊට අමතරව පසුගිය කාලය පුරාම නිසි පරිදි රැක බලා නොගැනීම හා පෝෂණය නොකිරීම හේතුවෙන් හීලෑ අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් මරණයට පත් විය. මීට අමතරව හීලෑ අලි – ඇතුන්ගෙන් පැටවුන් බෝ කිරීමට කිසිදු හීලෑ අලි – ඇතුන් හිමිකරුවකු 1986 වසරෙන් පසුව මේ වන තුරුත් උත්සාහ දරා නොමැත. මේ සියළු තත්ත්වයන් හේතුවෙන් ඇති වන පෙරහැර සඳහා හීලෑ අලි – ඇතුන් හිඟයට බොහෝ පිරිසක් උත්සාහ දරන්නේ නීති විරෝධී අලි පැටවුන් අත් අඩංගුවට ගැනීමේ කාර්යය බලපාන බව හුවා දැක්වීමට ය. මේ හරහා උත්සාහ දරන්නේ අලි පැටවුන් ජාවාරම සාධාරනීකරණය කිරීමට ය.
ජුනි 05 වනදාට යෙදුනු පරිසර දිනයේ තේමාව වූයේ වනජීවී වෙළෙඳාම පිටුදැකීම ය. ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය වනජීවී වෙළෙඳාම පිටු දැකීම වෙනුවෙන් යොමු වෙද්දී අප රටේ අධිකරණය වනජීවී වෙළෙඳාම නැතහොත් අලි පැටවුන් ජාවාරම වර්ධනය කිරීම සඳහා තීන්දු තීරණ ලබා දුන්නේය. මෙය අප රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලූවට ලක් වීමට කාරණයක් වෙයි.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීති විරෝධීව රඳවාගෙන සිටි අලි පැටවුන් 38 ක් පමණ අත් අඩංගුවට ගෙන තිබේ. තවත් අලි පැටවුන් දෙදෙනෙකු භාර දී තිබේ. එසේ භාර දීම සිදු කළ අලි පැටවුන් දෙදෙනා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අයත් වේ. ත්‍රිකුණාමලයේ දී යුධ හමුදාව විසින් අල්ලා ගන්නා ලද අලි පැටවා ගෝඨාභය රාජපක්ෂ මහතා භාරයේ සිටියේය. මෙම අලි පැටවා වත්මන් රජය බලයට පත් වූ පසු 2015 ජනවාරි 31 වනදා පින්නවල අලි අනාථාගාරයට භාර දෙන ලදී. එසේ භාර දුන්නේ 2011.06.13 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් ගෝඨාභය මහතාට ලබා දුන් ‘චරක‘ නම් අලි පැටවා ද සමඟ ය. නීති විරෝධීව ගෝඨාභය මහතා විසින් තම සන්තකයේ තබා ගෙන සිටි අලි පැටවා පින්නවලට බාර දී මේ වන විට වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර නොමැත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සැමට සර්ව සාධාරණව සිදු විය යුතු ය. එහි දී හිටපු ආරක්ෂක ලේකම්ට එක් ආකාරයකටත් රටේ සාමාන්‍ය ජනතාවට තවත් ආකාරයකටත් නීතිය ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකියාවක් නොමැත. එලෙස ක්‍රියාත්මක වීමක් යහපාලන රජයකින් බලාපොරොත්තු විය නොහැකි නමුත් එසේ සිදුව තිබේ.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා භාරයේ නීති විරෝධීව රඳවාගෙන සිටි ‘සකුරා‘ නම් අලි පැටවා ද පසුගියදා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී. මෙම අලි පැටවා 2012 වසරේ දී නිරාජ් රොෂාන් මහතා හෙවත් ‘අලි රොෂාන්‘ විසින් අල්ලා ගනු ලැබූ වේ හබරණ කැළයෙනි. එවකට මෙම සතාගේ වයස අවුරුදු 4 ක් පමණ විය. (සේයාරුවේ දැක්වේ)
නිරාජ් රොෂාන් මහතා විසින් හබරණ කැළයෙන් අල්ලාගත් තවත් අලි පැටවකු වන ‘සංජු‘ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී එම සතාව බේරා ගැනීමට නීති උපදෙස් ලබා දුන්නේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ය. ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් නිරාජ් රොෂාන් මහතා විසින් ‘සකුරා‘ නම් අලි පැටවාව තිළිණ ගමගේ මහතාට ලබා දී තිබේ.
2013 වසරේ ජනවාරි මස මේ පිළිබඳව අප විසින් පළමුව අනාවරණය කළ නමුත් එ් සඳහා එකල නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම අලි පැටවාට නීති විරෝධී බලපත්‍ර සැකසීමේ කාර්යය ද එ් අතරතුර ක්‍රියාත්මක විය. එ් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ පූර්ණ සහයෝගය ලැබිණ.
විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් 2014 ජූලි මස 22 වන දින නිකුත් කළ නීති විරෝධී ලෙස වනයෙන් අල්ලා ගෘහාශ්‍රිත කර ව්‍යාජ බලපත්‍ර සකස් කර විවිධ පුද්ගලයින් භාරයේ තබා ගෙන සිටින අලි පැටවුන් පිළිබඳ විගණන විමසුමට අනුව තිළිණ ගමගේ මහතා භාරයේ සිටි අලි පැටවා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර, ව්‍යාජ ලෙස සකස් කළ බලපත්‍රයක් යටතේ රඳවා ගෙන සිටි සතෙකු බවත් මෙම සතා නීති විරෝධීව වනාන්තරයෙන් අල්ලාගෙන ගෘහාශ්‍රිත කරන ලද සතෙකු බවත් තහවුරු කර ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 452 වන වගන්තියට අනුව වංචාවක් කිරීමේ අදහසින් අසත්‍ය ලේඛණයක් හෝ අසත්‍ය ලේඛණයක කොටසක් සෑදීම කූට ලේඛණ සෑදීමක් වේ. එහි 459 වන වගන්තියට අනුව කූට ලේඛණයක් ලෙස සැකසූ ලේඛණයක් සැබෑ ලේඛණයක් ලෙස භාවිතා කිරීම ද දඬුවම් ලැබිය යුතු වරදකි. දණ්ඩ නීති සංග්‍රහයේ 457 වන වගන්තියට අනුව කූට ලේඛණ සැකසීම හා කූට ලේඛණ සත්‍ය ලේඛණ ලෙස භාවිතා කිරීම සිදු කරන පුද්ගලයකු වසර 7 ක් දක්වා බණ්ධනාගාර ගත කිරීමකට හා දඩයකට යටත් කළ හැකිය. එ් අනුව තිළිණ ගමගේ මහතා විසින් මේ අලි පැටවා ලියාපදිංචි කිරීම සඳහා කූට ලේඛණ සැකසීම හා එම ලේඛණ සත්‍ය ලේඛණ ලෙස භාවිතා කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කර ඇත.
2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 23 වන වගන්තියට අනුව වනාන්තරයෙන් අල්ලාගත් අලි – ඇතුන් සන්තකයේ තබා ගැනීම නීති විරෝධී ක්‍රියාවකි. මෙය සංඥේය වරදක් වන අතර වරෙන්තුවක් නොමැතිව ඕනෑම අවස්ථාවක දී අත් අඩංගුවට ගැනීමේ හැකියාව ඇත. එවන් වරදකට වරදකරුවකු වන තැනැත්තකු රුපියල් ලක්ෂයකට නොඅඩු හා දෙලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර 10 ත් 20 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දණ්ඩනයන් දෙකටම යටත් කළ හැකිය. එපමණක් නොව අදාළ අලි – ඇතුන් සම්බන්ධයෙන් සුදුස්සක් කිරීමේ බලය අධිකරණයට ඇත.
මෙම පනතේ 22 (අ) වගන්තියට අනුව ගෘහාශ්‍රිත අලි – ඇතුන් පමණක් නීත්‍යානුකූල බලපත්‍රයක් යටතේ සන්තකයේ තබා ගැනීමේ හැකියාව පවතී. මේ වගන්තිය යටතේ වනාන්තරයෙන් අල්ලාගත් අලි – ඇතුන්ට බලපත්‍ර ලබා ගත නොහැකි අතර නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබා ගෙන සිටින අලි – ඇතුන් පොදු දේපලක් ලෙස සලකණු ලැබේ. එ් අනුව 1982 අංක 12 දරණ පොදු දේපල විෂයයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත හෙවත් පොදු දේපල පනත යටතේ විධි විධාන එම අලි – ඇතුන් සම්බන්ධයෙන් අදාළ වේ.
මෙවන් නීතිමය තත්ත්වයන් තිබිය දී අලි ජාවාරමට සම්බන්ධ මහේස්ත්‍රාත්වරුන් උත්සාහ දරන්නේ වනාන්තරයේ ජීවත් වීමේ අයිතිය අහිමි කළ අලි පැටවුන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවට නීති විරෝධීව අලි පැටවුන් අල්ලා ගන්නා හා එම සතුන් නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිටින පුද්ගලයින්ට යුක්තිය ඉටු කිරීමටය. මෙය කෙතරම් යුක්ති සාධාරණ ද යන්න මසැසින් නිවැරදිව දැක මනැසින් සිතා බැලිය යුතුය.
-පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර විසිනි-