රජයේ අලුත් යෝජනාව වරාය සේවකයෝ ප්‍රතික්ෂේප කරයි.
සියලු සේවකයින් නොව ඔවුන්ගෙන් කොටසක් පමණක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට බඳවා ගැනීමටත්, ඉතිරි කොටස චීන සමාගමකට අනුයුක්ත කිරීමටත් වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ඊයේ (11) නව යෝජනාවක් ඉදිරිපත් කළා. එහෙත් එම යෝජනාව ද පිළිගත නොහැකි බවයි හම්බන්තොට මාගම්පුර වරායේ සේවක වෘත්තීය සමිතියේ ලේකම් ගයාන් සඳරුවන් කියා සිටියේ.
හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින් තවදුරටත් උද්ඝෝෂණයේ යෙදී සිටිනවා. ඔවුන් පැවසුවේ සේවකයින් සියලු දෙනා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ස්ථීර සේවයට බඳවා ගන්නා තෙක් මෙම උද්ඝේෂණය අවසන් නොකරන බවයි.
හම්බන්තොට හයවන දිනය අදයි. ඔවුන් එම වරායේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසළ රැඳී සිටිනවා. වරායේ දෛනික කටයුතු තවමත් අඩාලවයි තිබෙන්නේ. උද්ඝෝෂණය නිසා වරායේ සිරවුණු නැව් දෙකෙන් එකක් තවමත් එහි රඳවා තිබෙන බව සේවකයින් පැවසුවා. නාවික හමුදාවේ මැදිහත්වීමෙන් අනෙක් නැව වරායෙන් පිටත්කර හැරුණේ පෙරේදා දිනයේයි.