ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

එජාපයට උදවුකල නීතිඥවරුන්ට ‘කළ ගුණ සලකන්න’ – රනිල් ඇමතිවරුන්ට කියයි.

‘එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සැබෑ ලෙසම කැප කිරීම් කළ නීතිඥවරුන් ඉන්නවා. ඒ අය පක්ෂයට බලය ඇතත් නැතත් දුකේදී සැපේදී හැම වෙලාවෙම හිටියා. මේ ස්ථානයට අද පැමිණිලා ඉන්න විශාල නීතිඥවරුන් නීතිඥවරියන් ප්‍රමාණයක් පහුගිය මැතිවරණ වලදී මේ ආණ්ඩුව බලයට ගේන්න සෑහෙන කැපකිරීම් කළ උදවිය. පසුගිය කාලයේම අපට ඔවුන්ට කළ ගුණ සලකන්න බැරි වුනා. ඔවුන් වෙනුවෙන් අප යමක් කළ යුතුයි. මම ඒ බව අද මේ ස්ථානයට පැමිණිලා ඉන්න අපේ ඇමතිවරුන්ට අවධාරණය කර සිටිනවා. අපි දැනටත් පමා වැඩියි. පුළුවන් ඉක්මනට මේ බව අවධානයට ලක්කරන්නැයි කියල මම කාගෙනුත් ඉල්ලා සිටිනවා’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ පසුගිය සෙනසුරාදා (26) එජාප අනුබද්ධිත ජාතික නීතිඥ සංගමය විසින් සංවිධානය කොට තිබූ සුහද හමුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

දේශනයේ තවදුරටත්  කරුණු දැක්වූ අග්‍රාමාත්‍යවරයා

‘ජාතික නීතිඥ සංගමය පිහිටෙව්වේ 1973 වසරේ ජේ.ආර්.ජයවර්ධන මහත්තයා පක්ෂයේ සභාපති වීමෙන් අනතුරුව. එහි ආරම්භක සාමාජිකයන් ලෙස කටයුතු කළ අය අතරින් මමත්, දයා පැල්පොලත්, මොහිදීන් වැනි අය විතරයි අද මේ ස්ථානයේ ඉන්නෙ. සමහර නීතිඥවරු එක එක වාසිවලට පක්ෂ මාරු කලා. හේමන්ත වර්ණකුලසූරිය කියන්නෙත් ඒ වගේ කෙනෙක්. ඒ නීතිඥතුමා දැන් අධිකරණයට අපහාස කිරීම වෙනුවෙන් යම් යම් පුද්ගලයන්ට එරෙහිව වරෙන්තු ලබා ගන්නවා. නමුත් පහුගිය කාලෙ හිටපු අගවිනිසුරුතුමිය ශිරාණි බණ්ඩාරනායකව දෝශාභියෝගයට ලක්කරන්න එතුමා ක්‍රියා කරපු ආකාරයම අධිකරණයට අපහාස කිරීමක්’

පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේ පැවැත්වූ මෙම සුහද හමුව සඳහා දිවයිනේ නන් දෙසින් නීතිඥවරුන් දහසකට ආසන්න ප්‍රමාණයක් පැමිණ සිටිනු දක්නා ලදී.

ජනාධිපති නීතිඥ සහ හිටපු අමාත්‍ය තිලක් මාරපන මහතා පිලිගැනීමේ කතාව පැවැත්වූ අතර ජනාධිපති නීතිඥ සහ ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා මහතා ද පැමිණ සිටි අය අමතා කතා පැවැත්වූහ. ජාතික නීතිඥ සංගමයේ ලේකම් ජේෂ්ඨ නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මෙම හමුව සම්බන්ධීකරණය කරන ලදි.