ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignNewsSlider

ට්‍රම්ප්ගෙන් නෙටෝ සංවිධානයට දෝස්මුරයක්

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ අමෙරිකාවට සෘජු යුද සහාය ලබාදීම නේටෝ (NATO) සංවිධානයට අයත් රටවල් ප්‍රතික්ෂේප කිරීම “ඉතා මෝඩ තීරණයක්” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අයර්ලන්ත අග්‍රාමාත්‍ය මයිකල් මාටින් සමඟ ධවල මන්දිරයේ පැවති නිල හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුද මෙහෙයුම් මේ වන විට තෙවන සතියටත් සාර්ථකව ක්‍රියාත්මක වන බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 20%ක් සිදුවන උපායමාර්ගිකව වැදගත් හර්මූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz), ඉරානය විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මඟින් වසා දැමීමට පියවර ගෙන තිබේ. මෙම මුහුදු මාර්ගය යළි විවෘත කිරීම සඳහා යුදමය සහාය ලබා දෙන ලෙස අමෙරිකාව කළ ඉල්ලීම ජපානය, ඕස්ට්‍රේලියාව සහ දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයක්ම මේ වන විට ප්‍රතික්ෂේප කර ඇත.

නේටෝ රටවල් මෙම මෙහෙයුමට එකඟතාව පළ කළ ද, සෘජුව මැදිහත් වීමට අකමැති වීම “කම්පනයට කරුණක්” බව පැවසූ ට්‍රම්ප්, තම හමුදාවන් දැනටමත් ලබා ඇති ජයග්‍රහණ හමුවේ තවදුරටත් නේටෝ සහාය තමන්ට අවශ්‍ය නොවන බව ද ප්‍රකාශ කළේය.