“ඡන්දයකින් ආර්ථිකය වැටෙනවා ය කීම මිථ්‍යාවක්” – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ
මැතිවරණයකට දරන වියදම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බවට ඉදිරිපත් කරන තර්කය මිථ්‍යාවක් බව ත් එයින් නාමික දළ දේශීය නිෂ්පාදනය ඉහළ යන බව ත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ ඊයේ (ජන. 18) පැවසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ බව අවධාරණය කළ මහාචාර්යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“මැතිවරණයකට රුපියල් බිලියන 10ක මුදලක් වියදම් කළහොත් එම මුදලින් එක් කොටසක් යන්නේ, මැතිවරණ ක්‍රියාදාමයට සම්බන්ධ වන පුද්ගලයන්ට වැටුප් ලෙසයි. තවත් කොටසක් යන්නේ මිල දී ගැනීම සඳහා යි. එසේ ම, මැතිවරණයට ඉදිරිපත් වන අප්ක්ෂකයන් තම ප්රචාරක කටයුතු සඳහා සිදු කරන වියදම් තුළින් ඔවුන්ගේ සඟවාගෙන සිටින කළු සල්ලි එළියට පැමිණිය හැකියි. මේවා තුළින් රටේ නාමික දළ දේශීය නිෂ්පාදනය වැඩිවීමට හේතු වෙනවා. මැතිවරණ ක්‍රියාකාරකම් සඳහා විදේශ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ විදේශීය පුද්ගලයන්, මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය විදේශ මුදල් මෙරටට ගලා ඒමක් සිදු වෙනවා.
මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදුවන සමස්ත ක්‍රියාකාරකම් තුළින් මහ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් තහවුරු වෙනවා සේ ම ඔවුන් තුළ අපේක්ෂා හැඩගැස්වීමට හේතු කාරණා විය හැකියි. මේ වනවිට ජනතාව තමන්ගේ ඉදිරි අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිත තත්ත්වයකයි සිටින්නේ. ආර්ථික විද්‍යාව තුළ ආර්ථික අපේක්ෂණයන් ගොඩනැඟීම වැදගත් කාරණයක් වෙනවා. එම අපේක්ෂණයන් තුළිනුයි ආර්ථිකය පිබිදීම කියන දේ ඇති වෙන්නේ.
මැතිවරණයක් තුළින් රටට සිදුවන එක ම අවාසිය වන්නේ රජයේ වගකීම රුපියල් බිලියන 10කින් වැඩිවීම පමණයි.”
මේ වනවිට සමස්ත රජයේ වගකීමේ ප්‍රමාණය රුපියල් බිලියන 26,000ක් වන බව පැවසූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා එය තවත් බිලියන 10කින් වැඩිවීම සිදුවන බව ද පැවසීය.