ආධාර බෙදීම පොහොට්ටුවේ දේශපාලනීකරණයට ලක්විමට විරෝධය පෑ තරුණයෙක් 16 දක්වා රිමාන්ඩ්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන තමන්ට නොලැබෙන බව පවසමින් ගම්පොළ දොළුව ප්‍රදේශයේ ගම්මාන පහක ජනතාව පෙරේදා (09) දිනයේදෝ ගම්පොළ – දොළුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඉල්ලගොල්ල මං සන්ධියේදී වීදි බැස විරෝධය දැක්වූහ.
එහිදී ජනතාව ප්‍රකාශ කළේ රජයේ ආධාර බෙදාහැරීමේදී දේශපාලනඥයින් පැමිණ තම පක්ෂයේ අයට පමණක් ආධාර බෙදන බවත් බහුතරයකට කිසිවක්ම නොලැබෙන බවත්ය. සමෘද්ධියෙන් ලැබුණු රුපියල් 5000ක දීමනාව හැර වෙනත් කිසිවක්ම තමන්ට නොලැබුණු බව තවත් පිරිසක් පැවසූ අතර කුළී වැඩක් හෝ කරගැනීමට නොහැකි වීමෙන් දරුවන් සමඟ තමන් අන්ත අසරණව සිටින බවත් පැවසූහ.
එහිදී එක් මවක් පැවසුවේ තමන් කොස් තම්බාගෙන ආහාරයට ගනිමින් වේල් හතරක් ගෙවා දැමූ බවයි. ආධාර බෙදන පුද්ගලයින් ඒවා බෙදන්නේ ඔවුන්ගේ ඥාතීන්ට පමණක් බවට ද ජනතාව එහිදී චෝදනා කළහ.
කෙසේවෙතත් මෙම විරෝධතාවය සංවිධානය කිරීමෙන් නිරෝධායන නීති කඩ කළැයි චෝදනා කරමින් ඊයේ දිනයේදී පොලිසිය විසින් ගම්පොළ, දොළුව, ඉල්ලගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුව අප්‍රේල් 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ආහාර ඉල්ලා උද්ඝෝෂණය කරන ජනතාව මර්ධනය කිරීමට නිරෝධායන පනත යොදාගන්නේ නම් එය අතිශයින් අමානුෂික පාලනයක පෙරමඟ ලකුණක් වනු ඇත. විශේෂයෙන් ආධාර බෙදීම දේශපාලනීකරණය වී ඇති බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතාම පවා පිළිගන්නා තත්වයක් තුළ ජනතාව ඊට විරෝධය පළ කරනු හැර වෙන කුමක් කරන්නදැයි යන බරපතළ ප්රශ්නය මෙහිදී උද්ගත වේ.
