ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

MCC ගැන ගැඹුරු අධ්‍යයනයක් කළ යුතුයි – MCC කමිටුව අගමැතිට කියයි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් ඉතා ගැඹුරු අධ්‍යයනයක් සිදු කළයුතු බව, අදාල ගිවිසුම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා පත්කළ කමිටුව පෙන්වා දෙනවා. එම කමිටුව ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අතර අගමැතිවරයා සමග මේ බව පවසා තිබෙනවා.

අදාල කමිටුවේ ප්‍රධානියා වන මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ගිවිසුමට අදාල සත්‍ය හා නිළ ලේඛන කමිටුව වෙත ලබාදෙන ලෙසයි. මෙම ගිවිසුමට අදාල ලේඛන ඩිජිටල් හා මුද්‍රිත ස්වරූපයෙන් විවිධ මූලාශ්‍රවල ඇතත් එම ලේඛනවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් සත්‍ය ලේඛන අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය බව කමිටුව පෙන්වා දී තිබෙනවා. අදාල ලේඛන කමිටුව වෙත ලබාදීමට අගමැතිවරයා එහිදී පොරොන්දු වී තිබෙනවා.

ඒ අනුව ලබන සතියේ සිට MCC ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කමිටුව සූදානමින් සිටී.

වත්මන් රජය නියෝජනය කරන පාර්ශ්වයන් ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළේ MCC ගිවිසුම අත්සන් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බවයි. තමන්ගේ රජයක් යටතේ එය ඉරා දැමීමට සූදානම් බව ද ඔවුන් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා සහ රජය බලයට පත්වීමෙන් පසුව MCC ගිවිසුම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට තීරණය කළ අතර ඒ සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් නම්කළ කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ නාලක ජයවීර යන මහත්වරුන්ය.