ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

ගෝඨාගේ අපේක්ෂකත්වය වැට උඩ – ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ගැන අධිකරණයට පෙත්සමක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ඔහු මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබා ගෙන ඇති බවයි.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව කියා සිටී.‍

මෙම පෙත්සම ගොනු කිරීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය පිලිබද නැවතත් අර්බුදයක් මතුව ඇති බව පෙනී යයි.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන,  එම අමාත්‍යංශයේ ලේකම්වරයා,  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ  ඇතුළු පිරිසක් නම් කර තිබේ.