මුදලට වෛද්‍ය උපාධිය ලබාදෙන සයිටම් ආයතනයේ උපාධිධාරීන් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) නියෝග කර ඇත. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිතාමතාම තමන්ම ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවට චෝදනා කරමින් සයිටම් උපාධිධාරීන් තිදෙනෙකු ගොනු කළ පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්ය.
මෙම නඩු තීන්දුව හරහා සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් 82 ක් වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ලියාපදිංචි වීමේ හැකියාව පවතින අතර ඔවුන් ඉදිරියේදී අදාල පත්වීම් ලද පසු රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු කරනු ඇත.
 මේ පිළිබඳව විභාගය පැවැත්වූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ පෙත්සම්කරුවන් වෛද්‍ය වෘත්තීය සඳහා ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මූලික අයිතීන් උල්ලංඝණයක් සිදුකර ඇති බවයි.
මීට අදාළව බුවනෙක අලුවිහාරේ සහ දෙහිදෙනිය යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙත්සම්කරුවන් වෛද්‍ය වෘත්තීකයින් වශයෙන් ලියාපදිංචි නොකිරීම තුළින් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝණයක් සිදුකර ඇති බවයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතට අනුව ඔවුන්ට එසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු සුරසේන මහතා අදාළ සිසුන් ලියාපදිංචි කරන ලෙස මීට පෙර අභියාචනායාධිකරණය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නියෝග නිකුත් කර තිබූ බව සිහිපත් කළේය.
ඒ අනුව ඔවුන්ව සති තුනක් ඇතුළත වෛද්‍ය වෘත්තිකයන් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන ලෙසද එම සභාවට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් විණි.