ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ වංචා දුෂණ ඇතුලත් වාර්තාව එළියට

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, එයට සම්බන්ධ සමාගම් සහ අදාළ ගෙවීම් සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ ‘විතානගේ කමිටු වාර්තාවේ‘ පිටපතක් ප්‍රසිද්ධ ලේඛනයක් ලෙස තිරු කුමාර් නඩේසන් මහතාට ඊයේ (02) ලබාදීමට තොරතුරු කොමිෂන් සභාව කටයුතු කළේය.ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිටපු ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කිට්ටු සහචරයෙකු වන මුදිත ජයකොඩිට අයත් සමාගමකට ලබාදී තිබීම සහ ඒ වෙනුවෙන් සිදුකර තිබෙන බව කියන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් මෙහි වැදගත් තොරතුරු රැසක් අඩංගුවේ.

මෙය ශ්‍රී ලංකාවේ තොරුතුරු නීතිය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා තොරතුරු කොමිෂන් සභාව විසින් ගනු ලැබූ විශිෂ්ට තීරණයකි.

අභියාචක තිරු නඩේසන් මහතා විසින් එම කමිටු වාර්තාවේ පිටපතක් සහ 2011 සිට 2015 මැයි 31 දක්වා කාලයේදී අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළව මුදිත ජයකොඩි ඇසෝසියේට් (පෞද්ගලික) සමාගමට මුදල් ගෙවීම හා සම්බන්ධ තොරතුරු (“උපදේශක සමාගම් හා අදාළ ගෙවීම්”) ඉල්ලමින් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලය එම තොරතුරු ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබූ අතර, අවසානයේ තොරතුරු කොමිෂන් සභාව වෙත ඔහු විසින් අභියාචනය යොමු කර තිබිණි.

එවිට අදාළ පොදු අධිකාරිය වූ අමාත්‍ය මණ්ඩලය තොරතුරු කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණේ රහස්‍ය ආවරණයක් යටතේ එම කමිටු වාර්තාවේ පිටපතක් ලබාදිය හැකි බව ය.

එම කමිටු වාර්තාවේ පිටපත තොරතුරු කොමිෂන් සභාවේ පරීක්ෂාවට ලක් කර, පසුව 2019.04.02 දින එම අභියාචනය වැඩිදුර විභාගයට ගන්නා අවස්ථාවේදී එය ප්‍රසිද්ධ ලියැවිල්ලක් සේ මුදා හැරීමට නියෝග කරන ලදී. ඒ සඳහා තමන්ගේ විරෝධතාවක් නොමැති බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ද අවසානයේ ප්‍රකාශ කළේය. ඉන්පසු එම අවස්ථාවේදීම එම ලේඛනය තිරු කුමාර් නඩේසන් මහතා වෙත ලබාදීමට තොරතුරු කොමිෂන් සභාව පියවර ගත්තේය.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව තොරතුරු කොමිෂම ඉදිරියේ පෙනී සිටියේය.

RTICAppeal/216/2018 යටතේ මෙම අභියාචනය තොරතුරු කොමිසම හමුවේ විභාගයට ගැනිණි.

(උපුටා ගැනීම LNW)