NewsSlider මධුෂ්ගේ පුංචි අම්මා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිවෙයි. March 27, 2019 Kamal Dhammika ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණ නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බලකාය සහ රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ පුංචි අම්මා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළේය. මෙම පෙත්සම ප‍්‍රතික්ෂේප කිරීමට නියෝග කරනු ලැබුවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඥාතියෙකුට ඉදිරිපත් කළ නොහැකි බවට සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගනිමිනි. මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , ප‍්‍රසන්න ජයවර්ධන සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. සූරියවැව හත්පෝරුව පදිංචි අබේසේකර විජේසේකර ශ‍්‍රියානි මහත්මිය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්ලතීෆ් මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත. ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ. පෙත්සම්කාරිය සමරසිංහ ආරච්චිගේ මධුෂ් හෙවත් මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ පුංචි අම්මාය.මධුෂ් නැමැත්තා 1979 වසරේ මෙලොව එලිය දුටු අතර ඔහුට වසර 10ක් ගතවෙද්දී 1989 වසරේ යුද හමුදාව විසින් ඔහුගේ මව වෙඩි තබා ඝාතනය කෙරිණි. මෙම ඝාතනය පසුපස ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ඩැනී හිත්තැටියගේ පවුලේ අය සිටින බව මධුෂ්ගේ පවුලේ අය තදින්ම විශ්වාස කර සිටී.මධුෂ් රෝහල් උපස්ථායකයෙකු ලෙස සිය ජීවිකාව ඇරඹීය.පසුව හෙදියක් සමඟ විවාහ විය.හෙතෙම එක් දරු පියෙකුද වේ. ප‍්‍රාදේශීය දේශපාලනඥයින් ගේ ජීවිත තර්ජන හමුවේ හෙතෙම තම උපන් නගරයෙන් පලා ගියේය. පසුව මධුෂ් විවිධ චෝදනා යටතේ රිමාන්ඞ් භාරයට පත්විය.රිමාන්ඞ් බාරයේ සිටියදීද ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල විය.මෙම තත්ත්වය හමුවේ ඔහු තම ජීවිත ආරක්ෂාව පතා සිය පුත‍්‍රයා සමඟ විදෙස්ගත විය. හෙතෙම ඉකුත්දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට පත්විය. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණය නීතියක් නොමැති අතර එබැවින් වගඋත්තරකරුවන් විසින් මධුෂ් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී වේ.මේ තත්ත්වය තුළ ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවේ. එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද , මධුෂ් නැමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා තිබිණි. Post Views: 861 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print