තිරිංග ක්රියා විරහිත වීමෙන් හාල් පැටවූ ලොරිය නිවසක් මතට පෙරළෙයි
මහනුවර මාතලේ මාර්ගයේ ගමන් කරමින් තිබූ හාල් පැටවූ ලොරි රථයක් එහි වේගය පාලනය කර ගත නොහැකිව අද (12) පෙරවරු 10.30 ට පමණ අකුරණ හතේ කණුව ප්රදේශයේදී ඒ 09 මාර්ගයෙන් ඉවත් කර කුරුගොඩ මාර්ගයට හැරවීමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ත්රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටි නිවසක් මතට පෙරළි ඇත. අනතුරින් සිව් දෙනෙකු තුවාල ලැබ රෝහල ගත කර ඇති අතර එයින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වෙයි.
මාතලේ දෙස සිට හාල් පටවා පැමිණ ඇති මෙම ලොරියේ වේගය පාලනය කර ගැනීම සඳහා ලොරි රථය අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ත්රිරෝද රථයක් සහ යතුරු පැදියක් යට කර ගෙන ගොස් අසල නිවසක් මතට පෙරළීම නිසා ත්රීරෝද රථය සහ යතුරු පැදිය ලොරියට යට වී තිබූ අතර ත්රීරෝද රථයේ රියැදුරු යතුරුපැදි කරු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා අකුරණ රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර ඉන් එක අයෙකු මහනුවර මහ රෝහලට මාරු කර යවනු ලැබ තිබේ.
මෙම අනතුරට හේතුව ලොරි රථයේ තිරිංග ක්රියා විරහිත වීම බව පොලීසිය විශ්වාස කරයි. අනතුර සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ඇතුළු නිළධාරිහූ වැඩි දුර පරීක්ෂණ පවත්වති.