Facebook එකෙන් හදුනාගෙන වසර පහක් ඇසුරුකල මිතුරා විවාහ ගිවිසගත්තා කියා මරා දමයි
මුහුණු පොත මඟින් හඳුනාගෙන වසර පහක් තිස්සේ සමීප ඇසුරක් පැවැත්වූ මිතුරකු ඝාතනය කළ බවට සැකපිට විශ්වවිද්‍යාල සිසුවකු වන අනෙක් මිතුරා අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ හෝකන්දර උතුර පරාක්‍රම මාවතේ පදිංචි අරුණ කුමාර දිසානායක (29) නමැති තරුණයකු බව පොලිසිය කියයි. මියගිය තරුණයාගේ රහස් ප්‍රදේශයට කිසියම් අයකු තියුණු ආයුධයකින් ඇන තුවාල කිරීම නිසා තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම සිදුවීම පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කිරීමත් සමඟ මියගිය තරුණයාගේ සමීපතම මිතුරකු පිළිබඳව සැක සිතී ඔහුද තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සුළු අසනීපයකට ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සැකකරු 2014 වසරේදී මුහුණු පොත මඟින් මියගිය තරුණයා හඳුනාගෙන ඇති අතර දෙදෙනා ඉතා සමීප සබඳතාවක් වසර පහක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.
ඒ අතර කාලයේදී දෙදෙනා අන්තර්ජාලය භාවිත කරමින් විවිධ ලිංගික ක්‍රියාකාරකම්ද අත්හදා බලා ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මේ නිසාම දෙදෙනාට දෙදෙනා අමතක කර දැමීමට පවා නොහැකි මට්ටමටම මිතුරුකම මුහුකුරා ගොස් තිබී ඇති බව පොලිසිය කියයි.
මේ අතර කාලයේදී මීට දින කිහිපයකට පෙර මියගිය තරුණයා විවාහ වීම සඳහා නම් ලියාපදිංචි කර ඇති අතර ඊට සැකකරු දැඩි විරෝධයක් එල්ල කර ඇතැයිද පැවසේ.
එහෙත් ඒ විරෝධය නොතකා මියගිය තරුණයා විවාහ වීමට උත්සාහ දැරීමේදී එය වැළැක්වීමට සැකකරු විවිධ අවස්ථාවලදී සිය මිතුරාගේ පෙම්වතියගේ මනස වෙනස් කිරීම සඳහා උත්සාහ දරා ඇතැයිද පැවැසේ. මෙය දැනගත් මියගිය තරුණයා සැකකරු හා තරහ වී නැවත මිතුරු වී ඇති බවද පැවැසේ.
එහෙත් සිය පණ හා සමාන මිතුරාගේ විවාහය නැවැත්වීමට සැකකරුට කළ හැකි දෙයක් නොමැති නිසා ඉකුත් 01 වැනිදා රාත්‍රි මියගිය තරුණයාගේ නිවෙසේ රාත්‍රිය ගත කිරීම සඳහා සැකකරු ගොස් සිටි අතර මිතුරා මෝටර් රථය අසල දුරකථන ඇමතුමක් ගනිමින් සිටියදී මෙසේ තියුණු ආයුධයකින් ඔහුගේ රහස් ප්‍රදේශයට පහරදී තුවාල සිදු කොට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
පසුව තුවාලකරු තලවතුගොඩ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ සැකකරුද දියවැඩියා රෝගය ඇති බව පවසා එම රෝහලේම ප්‍රතිකාර ගනිමින් සිට ඇතැයි පැවැසේ.
ඒ අනුව පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඝාතනය සඳහා භාවිත කළ තියුණු ආයුධය මියගිය තරුණයාගේ මෝටර් රථයේ පිටුපස සඟවා තිබියදී සොයා ගෙන තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(මව්බිම)