ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජවිපෙ ගෙනාව 20 සම්මත වුණොත් ජනාධිපතිවරණයක් එන්නේ නෑ – කුමාර වෙල්ගම

පසුගිය වසර හතරේ රටට දැනෙන වැඩක් නොකළ මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන විට මත්කුඩු හා පාතාලය මර්දනය කරමින් වැඩ කිරීමෙන් හැඟීයන්නේ එතුමා යළිත් ජනාධිපති ධුරයට තරග වැදීමේ අපේක්ෂාවෙන් සිටින නිසා වන අතර මහින්ද රාජපක්ෂ – මෛත්‍රිපාල සිරිසේන යළි එකතු වුවද මෛත්‍රිපාල සිරිසේන මහතාට පොහොට්ටුවෙන් නම් ජනාධිපති අපේක්ෂකත්වය ලබානොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඉකුත්දා හාලිඇළදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඒ මහතා මෙසේද පැවැසීය. දැන් රටේ නායකයෝ හැමෝම කතා කරන්නේ විසි වැනි සංශෝධනය ගැන. ජනතා විමුක්ති පෙරමුණ මේක ගෙනාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්නයි. ඒ සංශෝධනයෙන් පස්සෙ පත්වෙන ආණ්ඩුවේ පත්වෙන්නේ නාමික ජනාධිපතිවරයෙක්. ඒ නිසා මේ යෝජනාව ගැන පක්ෂ නායකයන් හැමෝම ලොකු උනන්දුවක් දක්වනවා. විධායක ජනාධිපති බලතල වැරැදි කෙනෙක් අතට ගියොත් මොකද වෙන්නේ කියා ඒ අය හිතනවා.

පසුගිය අවුරුදු හතරේදී සිදුවුණෙත් ඒකමනේ. ඒ නිසා බොහෝ දෙනා හිතන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි වීම හොඳයි කියලයි. එහෙම වුණොත් ජනාධිපතිවරණයත් නෑ. ජනාධිපතිවරණයක් තිබ්බොත් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ආයෙත් ඉල්ලනවා. මේ අවුරුද්ද මැතිවරණ වසරක්. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පසුගිය අවුරුදු හතරේ හරියට රටට දැනෙන වැඩක් කළේ නෑ. ඒත් මේ අන්තිම අවුරුද්දේ මෛත්‍රිපාල මහත්තයා වැඩ කරනවා. දැන් මත්ද්‍රව්‍ය අල්ලනවා. පාතාලය නැති කරනවා. හරියට වැඩ.

ඒ විදියට බලනකොට මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ආපසු ජනාධිපති ධුරයට ඉල්ලයි. හැබැයි පොහොට්ටුවෙන් නම් මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට ඉල්ලන්න දෙන්නේ නෑ. පොහොට්ටුවේ අය හිතන්නේ මේකට රාජපක්ෂ කෙනෙක්ම දාන්නයි. මහින්ද රාජපක්ෂ මහත්තයාම එනවා නම් මමත් සහයෝගය දෙනවා. නැතිනම් මම සහයෝගයක් දෙන්නේ නෑ.

මහින්ද රාජපක්ෂ මහත්තයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයයි ඉදිරියේදී එකතු වෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් එකතු වෙන ලකුණු තියෙනවා. අපි තාමත් ශ්‍රී ලංකා එකේ. අලුතෙන් පත් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හැරුණාම අපි සේරම තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ. හැබැයි මේ පක්ෂ දෙක එකතු වුණොත් වැඩි බලය තිබෙන්නේ පොහොට්ටුවට. වැඩි බලය තියෙන පැත්තට හැම විටම අපේක්ෂකත්වය දිය යුතුයි. මිනිස්සු කැමැතිත් පොහොට්ටුවටයි. ඒත් විසි වැනි සංශෝධනය සම්මත වුණොත් ඔය එකක්වත් වැඩක් නෑ. එහෙම වුණොත් ජනාධිපතිවරණයක් එන්නෙත් නෑ. මොනවා වුණත් සිංහල අවුරුද්දට කලින් නම් ඔය කිසිදෙයක් වෙන්නේ නෑ.

(මව්බිම – රත්න වීරසිංහ)