ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්ද අගමැතිධුරය එපා කියයි..! ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙත්සම අස්කර ගැනීමට මන්ත්‍රිවරුන්ගේ අත්සන් එකතු කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසට කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ හා හිටපු කැබිනට් අමාත්‍යවරු  ගොනු කළ අභියාචන පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව අද(06) අධිකරණයට දන්වා ඇත. මෙම අභියාචන පෙත්සම්වල වගඋත්තරකරුවන් ඔවුන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති රිට් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව දන්වා ඇති බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙම පෙත්සම මාර්තු  මස 14 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියෝග කළා.

එම රිට් පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව එම නීතිඥවරු වැඩිදුරටත් පවසා තිබෙනවා. ඔවුන් එම රිට් පෙත්සම ඉල්ලා අස්කර ගත හොත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වයන් ද ඔවුන්ගේ අභියාචන පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන්ගේ නීතිඥවරු ද දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෙම අභියාචන පෙත්සම් මාර්තු මස 14 වැනිදා කැඳවීමට විනිසුරු බුවනෙක අලුවිහාරේ සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු නියෝග කළා.

අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙසට කළ ඉල්ලීම පසුගිය දෙසැම්බර් මස 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කොට මෙම අභියාචන පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ඒ අනුව අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙනු ඇති.
දෙසැම්බර් මස 03 වැනිදා අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි සහ දෝෂ සහිත බැවින් එම නියෝගය ඉවත දමන ලෙසට මෙම අභියාචන පෙත්සමෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියා.

මීට අමතරව අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු , චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන සහ විජේදාස රාජපක්ෂ යන අයද අභියාචන පෙත්සම් ගොනු කළා. ඔවුන් සිව්දෙනා කැබිනට් අමාත්‍යවරුන් ලෙසට කටයුතු කිරීම වළකාලමින් ද අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබුණි.