ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

උදයංගගේ පැමිණීම අගෝස්තු මැද දක්වා කල් යන ලකුණු.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන නීති කෘත්‍යයට මුහුණදීම සඳහා හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ලබන අගෝස්තු මස මැද කාලසීමාවේ මෙරටට පැමිණීමට තීරණය කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු දීර්ඝ කාලයක් රුසියාවේ ශිෂ්‍යයෙක්, ව්‍යාපාරිකයෙක් සහ තානාපතිවරයෙක් වශයෙන් සිටි කෙනෙක්, සහ ඔහුගේ දරුවන් ඒ රටේ ඉපදුණු අය වීම ආදී කරුණු මත ඒ සම්බන්ධව මූලික කටයුතු වශයෙන් අවසන් කිරීමට තිබෙන බවත් එම හේතුව මත මේ රටට පැමිණීමට එම කාලසීමාව ගතවන බවත් හිටපු තානාපතිවරයා තමාට දැනුම් දී ඇති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ හිටපු තානාපතිවරයා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘අජ්මාල්’ ප්‍රාන්තයේ බන්ධනාගාරයක රඳවා සිටින බවට රාජතාන්ත්‍රික තොරතුරු ලැබී තිබෙන බව සහ හිටපු තානාපතිවරයා මෙරටට පැමිණීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔහු සිදුකළ යුත්තේ ඒ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අධිකරණයට දැනුම් දී ඒ සඳහා අවසර ලබාගැනීම බවයි.

එලෙස ඔහු අවසර ලබාගත් පසු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් ගුවන් යානය තුළදී හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ජේ‍යෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් ශ්‍රීලන්කන් ගුවන් යානයකින් ගොස් ගුවන් යානය තුළදී ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ එය මෙරට දේපළක් සහ මෙරට භූමියට අයත් දෙයක් නිසා වන බවද අධිනීතිඥවරයා ප්‍රකාශ කර සිටියේය.