ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් ඓතිහාසික හමුවට සියල්ල සූදානම්
ලෝකයෙන් හුදෙකලා කරන ලද රටක්ව තිබූ උතුරු කොරියාව එක්සත් ජනපදය සමග “නව සම්බන්ධතා” ගොඩනැගීමට ඉඩ ඇති බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙම මාධ්‍ය වාර්තාව පළ වී ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වීමට නියමිත ඓතිහාසික සාකච්ඡාවට දිනකට පෙරය.
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මෙම හමුවීම ගැන තමාට “යහපත් හැඟීමක්” තිබෙන බවය.
දෙරට අතර පැවැත්වෙන පළමු සමුළුවට සහභාගි වීම සඳහා කිම් ජොන් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා (ජූනි 10) සිංගප්පූරුවට ලඟා වූහ.
සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා (Sentosa) දිවයිනේ පිහිටි හෝටලයකදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
හෙක්ටෙයාර 500 ක් පමණ විශාල සෙන්ටෝසා, සිංගප්පූරුව නිර්මාණය වී ඇති දූපත් 63 කින් එකකි. සුඛෝපභෝගී හෝටල්, පෞද්ගලික වරාය සහ ගොල්ෆ් පිටිවලින් සමන්විත සෙන්ටෝසා ප්‍රධාන දූපතට ආසන්නව පිහිටා තිබේ.
එසේම, මුහුදු මංකොල්ලකරුවන් මෙන්ම ලේ වැගිරීම් හා යුද පිළිබඳ අඳුරු අතීතයක් ද එම දූපත හා බැඳී පවතී.
මෙම ඓතිහාසික හමුව අඟහරුවාදා (ජුනි 12) වෙනිදා පැවැත්වීමට නියමිත නමුත් මේ දක්වා වැඩිදුර තොරතුරු හෙළි කර නොමැත.
ආසියානු රටක් සමග පැවැත්වෙන මෙම සමුළුව ගැන සඳුදා (ජූනි 11) ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ තමන් “ඉතා උද්දාමයට” පත් වී සිටින බවය.
සමුළුවට අදාළ න්‍යාය පත්‍රයේ තොරතුරු සුළු වශයෙන් නිකුත් කර ඇති අතර සාකච්ඡා පැවැත්වෙන අතරතුර අනෙක් කරුණු හෙළි කෙරෙනු ඇත.
දෙරටේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් සඳුදා සිංගප්පූරුවේ දී රැස්වී සිය නායකයින් වෙත ඉදිරිපත් කිරීම සඳහා ගිවිසුමක් කෙටුම්පත් කිරීමට උත්සාහ කරන බව දකුණු කොරියානු යෝනාප් (Yonhap) ප්රවෘත්ති සේවය වාර්තා කර සිටී.
එක්සත් ජනපද ජනාධිපති හා උතුරු කොරියානු නායකයා එකිනෙකට ආසන්නයේ පිහිටි හෝටල් දෙකක නවාතැන් ගෙන සිටින අතර, සිංගප්පූරු ප්‍රධාන භූමියේ සිට මීටර් සිය ගණනක දුරින් පිහිටි ජනප්‍රිය සංචාරක දිවයිනක් වන සෙන්ටෝසාහි හෝටලයක දී හෙට දින හමුවීමට නියමිතය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ඉවත් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධානතම මාතෘකාව වනු ඇත.
උතුරු කොරියාව න්‍යෂ්ටික ආයුධ අත්හැරීම ඇමරිකාවේ ඉල්ලීම වුවද, මෙම යෝජනාවට බොහෝ විට උතුරු කොරියාව විරුද්ධ වනු ඇතැයි බලාපොරොත්තු වේ.
මේ අතර, උතුරු කොරියාව ඇමරිකාවෙන් ඉල්ලා සිටින්නේ කුමක්දැයි තවමත් පැහැදිලි නැත.
හෙට දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවල දී උතුරු කොරියානු ආර්ථිකය ගොඩනැඟීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති අතර, දැනට පනවා ඇති සම්බාධක ලිහිල් කරමින් ජාත්‍යන්තර ආයෝජන ලබා ගැනීමට අවශ්‍ය බව කිම් ජොන් අන් පවසා තිබේ.
නමුත් ඔහු මේ වෙනුවෙන් ලබා දීමට සැරසෙන සහන පිළිබඳ සහ ඔහුගේ පොරොන්දු ඉටු කිරීමට බලාපොරොත්තු වන්නේ දැයි මෙතෙක් ප්‍රකාශ කර නැත.