විධායක ජනාධිපතිධුරය අහෝසී කිරීමේ ජවිපෙ යෝජනාව සහ විමල්ගේ බැසිල් භීතිකාව.
මීළග ජනාධිපතිවරණයට තව මස 18ක් හෝ 20ක් පමණ ඇත . එසේ තිබියදී අපේ රටේ දේශපාල නායකයෝ දැනටමත් ඒ සදහා අඹුඩ ගසමින් සිටින බව පෙන්වයි. මුහුද හත් ගව්වක් තියා අඹුුඩ ගැසීම පරණ වැඩකි, පරණ කියමනකි. දැන් කට්ටිය අඹුුඩ ගසන්නට පටන් ගෙන ඇත්තේ මුහුද විසි ගව්වක් තියාය. අප එහෙම කියන්නට හේතුවන්නේ එදා හත් ගව්වක් යනු දුර ගමනකි, දුෂ්කර ගමනකි, නමුත් දැන් ගමන් යන්නේ හයිවේවලය. ඒ නිසා විසිගව්වක් තියා අමුඩය සුදානම් කර ගැනීම කාට කාටත් හොදය. මේ කතා අස්සේ ප්‍රධානතම කතාවක් දැන් එළිපිටටම ඇවිත් ඇත. ඒ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමය. මේ වැඩේ කරගත්තොත් කාටත් හොදය, රටටත් හොදය, අපේ මුලික කතාව එය නොවේ. මේ කතා අස්සේ තවත් කතා එලියට පැන ඇත්තේය. සරලව කිවහොත් බළලුන් මළුවලින් එලියට පනිමින් සිටියි. ඒ විමල් බැසිල් ගැටුමය, මේ ගැටුම සමග තවත් අතුරු ගැටුම් දැන් එලියේය.
විමල් වීරවංශ පසුගියදා මාධ්‍යවලින් එළිපිටම බැසිල් රාජපක්ෂට අභියෝග කරන්නට පටන් ගත්තේය. එහෙත් මෙයට පෙර එලෙස බැසිල්ට මුහුණටම අභියෝග කර නොතිබුණි. එක්තරා අවස්ථාවකදී ඔහු බැසිල්ගේ අමාත්‍යංශ ලේකම් වරයා වූ පී. බි. ජයසුන්දරට මුහුණටම ආර්ථික ඝාතකයා යයි කිවේය. එය ඔහුට බැසිල්ගේ මුහුණටම කීමට තිබූදේ වුවද ඒ මොහොතේ එය බැසිල්ගේ මුහුණටම කියන්නට විමල් වීරවංශට බැරි විය. කෙසේ වුවද විමල්ගේ ලේකම් ප්‍රියන්ජිත් කියන පරිදි විමල් කිසිදු නායකයකු අගේ කලේ නැත. ඔහු සිය පක්ෂය සහ හිතවතුන් මෙහෙය වූයේ තමා හැර කිසිවෙකුත් විශ්වාස නොකිරීමටය. ඔහුට අනුව බැසිල් රාජපක්ෂ යනු, අධිරාජ්‍යවාදී ඒජන්තයෙකි. පසුගිය ආණ්ඩුව විනාශ කල පුද්ගලයාය. ජනාධිපතිවරණයේදී මහින්ද පැරද වූයේ බැසිල්ය. ඔහු රෝ සංවිධානයේ සහ විදෙස් ඔත්තු සේවාවල ඔත්තුකරුවෙකි. මෑතකදී ඔහුගේ භූමිකාව රනිල් වික්‍රමසිංහ හා බැදී පවතී. අද බැසිල් තීන්දු ගන්නේ රනිල්ට අනුවය. රනිල් වික්‍රමසිංහ බය නැතුව සිටින්නේ බැසිල් නිසාය. බැසිල් බය නැතුව සිටින්නේ රනිල් නිසාය. බැසිල් බිය ගුල්ලෙකි. ජනාධිපතිවරණය අවසන්වීමත් සමග ඔහු රට හැර ගියේය. ඔහු ජනාධිපතිවරයා පවාදී රට හැර ගියේය. ඒ දිනවල විමල් කිවේ බැසිල් නැවත රටට නොඑන බවය. නැවත ඔහු රටට ආවද පාවාදෙන්නෙකු ලෙස දේශපාලනයෙන් කොන්කළ යුතු බවය. මේවා මෙලෙස පැවසීමට විමල්ට විශේෂ හේතුවක් තිබුණි. එනම් රාජ්‍ය නායකයා වීමේ විමල්ගේ දේශපාලන ගමනේ ප්‍රධාන අභියෝගයක් සහ බාධකයක් ලෙස ඔහු හදුනාගත් අය අතර බැසිල් මූලිකයා වීම නිසාය. මේ දිනවල නම් විමල්ට අනුව බැසිල් යනු මහින්දගේ වාටියේ සිටින පඩියාය. විමල් මේ දිනවල විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට ජවිපෙ ගෙන එන යෝජනාවට බැසිල්ගේ කණ්ඩායම පක්ෂවීමද හෙළාදකී. එයට ඔහු සහ ඔහුගේ ගෝලබාලයන් (වසන්ත බණ්ඩාර, ගුණදාස අමරසේකර ) වැනි අය ලවා දැඩි ලෙස පහර ගසමින් සිටියි. පොහොට්ටුවේ මතය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා යොමුවීම නැවත්වීමට ඔහු කටයුතු කරමින් සිටියි. ඒ සඳහා ඔහුට යම් අභියෝගයක් එල්ල කළ හැකි බන්දුල ගුණවර්ධනට පවා ඔහු මේ මොහොතේ ද්‍රෝහියෙකු කරයි. ඒ එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කර ගැනීම සදහාය.
විමල් වීරවංශට මේ මොහොතේ සිදුව ඇත්තේ කුමක්ද ?
අද මෙන් එදත් ජවිපෙ ස්ථාවරය වුයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමය. 94 දී විමල් නැගී වේදිකාවල ඔහු පුනපුනා කිවේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සදහා පොදු අපේක්ෂකයා දිනවන ලෙසය. එතැන් සිට විමල් සිටි ජවිපෙ තුළ ප්‍රධාන සටන් පාඨයක් වූයේ මේ රට විනාශකරන ඒකාධිපති වියරුව අහෝසි කරන ලෙසය. කොතරම් හොද පුද්ගලයෙකු වුවද මේ පුටුවේ වාඩිවුවහොත් ඔහු ඒකාධිපතියෙක් බවට පත්වන බවය. ඒ නිසාම මෙය අහෝසි කළයුතු බවය. විමල් විරවංශ ප්රචාරක ලේකම්වූ ජවිපෙ මැයි දිනවල සහ සියලු රැස්වීම්වල ප්‍රධානතම සටන් පාඨයවුයේද මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු බවය. එදා එයට පක්ෂ වුවන්ට විමල්ගෙන් ලැබුනේ මාරාන්තික විවේචනයකි. ජවිපෙන් විමල් එලවූ පසුද විධායක ජනාධිපති ධූරය රැකගත යුතුයයි විමල් කියූ තැනක් සොයා ගැනීමට නැත. ඒ අනුව එතෙක් විමල් වීරවංශ යනු විධායක ජනාධිපති ධුරය අහෝසි කළයුතු යයි කී පුද්ගලයෙකි. නමුත් දැන් ඔහුගේ වෙස් පෙරලි ඇත. දැන් ඔහු විධායක ජනාධිපති ධුරය රැකගත යුතු බවත් ඒ සදහා දිවි හිමියෙන් සටන් කරන බවත් පවසයි. ඒ රට වෙනුවෙන් ගන්නා තීන්දුවක් බවත් පවසයි .
සත්‍ය එයමද?
නමුත් සත්‍ය එය නොවේ. ඔහු සිතන්නේ ඔහුගේ මුඛරිකමට ඔහු හරි කියන ඕනෑම සටන් පාටයක් තුළට නම්මවා ගතහැකි ජනතාවක්, විශේෂයෙන්ම පොහොට්ටු ඡන්දදායකයන් සිටින බවය. විමල් වීරවංශ මෙදා පාර වරද්දවා ගන්නේ එතනනි. රටේ බහුතරක් ජනතාව මේ විධායක ජනාධිපති ධුරයට විරුද්ධය. පසුගිය මැතිවරණවලදී හැම පක්ෂයකම පොරොන්දුවක් වුයේ මෙය අහෝසි කරන බවය. සමහර දේශපාලන නායකයන්ට අත්සන් කරනු ලැබූ ලිපි දෙන්නට සිදුවුයේ මේ නිසාය. මහින්ද රාජපක්ෂ හිටපු ජනධිපතිවරයාද මේ මෑතකදී නුවරදී කිව්වේ විධායක ජනධිපති ධුරයට තමන්ද විරුද්ධ බවය .මෛත්‍රි, රනිල්, වාසු, බාහු ඇතුළු සියලු දේ දෙනාම විධායක ජනාධිපති ධුරයට විරුද්ධය. රට ජනතාවගෙන් 99% මේ විධායක ජනධිපති ධුරයට විරුද්ධය. එවන් ජනතා විරෝධී දෙයකට විමල් වීරවංශ සහ ඔහුගේ නඩය පක්ෂ වී ඇතිදේ කුමක්ද?
විමල්ගේ ගමනක අවසානය
විමල් ජවිපෙන් ඉවත් කළවිට තනි දේශපාලන ගමනක් ආරම්භ කර තිබුණි. සියලු ද්‍රෝහිකම්ද, සියලු පවාදීමද ඇතුළු සියලු නරුම කම් ඒ තුල අඩංගු විය. ඔහුට උවමනා කලේ තනි ඒකාධිපති බලයක් නිර්මාණය කර ගන්නා නායකයෙකු බවට පත්වීමය. ඔහුගේ අරමුණ රටේ ජනාධිපති පුටුවයි, ඔහු සිතා සිටින්නේ චාවේස් පන්නයේ නායකයෙකු වීමටය. විමල්ට පක්ෂ පිලිබදව විශ්වාසයක් නැත. පක්ෂ සාමාජිකත්වය පිළිබද විශ්වාසයක් නැත. පක්ෂයක් තනා එහි සාමාජිකත්වය මෙහෙයවා, පක්ෂයේ මතය සමාජගත කොට දේශපාලන බලය දිනාගැනීමේ විශ්වාසයක් ඔහුට නැත. ඔහු විශ්වාස කරනුයේ යම් නිශ්චිත මොහොතක බොරු සමුදායක් වපුරාහෝ ඔහුගේ මුඛරි කමින් ජනතාව දිනාගෙන රටේ පාලකයා බවට පත්වී ගොඩනැගෙන දේශපාලනයක් පිලිබදව ඔහු දැඩි සේ විශ්වාස කරයි. ඒ ඔහුගේ පටු උවමනාව වෙනුවෙන් මේ ඒකාධිපති වියරුව පරාජයට පත්කිරීමට ඔහු එරෙහි වේ. ඒ අතරම ඔහුගේ ගමන යාමට අභියෝගයට ලක්වන බාධා වන අය ඔහුගේ ගිලටීනයට අසුවේ. ඒ අනුව ඔහුට (ඔහුගේ ලේකම් කියන පරිදිම) දිනේෂ් ගුණවර්ධන ජෝකරයෙකි, ඩලස් අලහප්පෙරුම ඔත්තුකරුවෙකි. බන්දුල ගුණවර්ධනත් ඔත්තුකරුවෙකි. උදය ගම්මන්පිල රූකඩයෙකි. ඔහු හැර සියලුම චරිත ඔහු කළු කරයි. ඔහුගේ අනුගාමිකයන්ට ඔහු හුරුකර ඇත්තේ එලෙසය. ඔවුන් විමල් අන්ධානුකරණයෙන් අදහයි. ඔවුන්ට විමල් චාවේස් කෙනෙකි. ඔවුන් එලෙස විශ්වාසකරාට අපට කම් නැත. එසේ විශ්වාස කිරීමට ඇති අයිතිය අපි පිළි ගන්නෙමු. එහෙත් ඔවුන්ගේ අන්ධවිශ්වසයන් සදහා මේ රටේ ජනතාව බිලිදිය නොහැක. යෝජනාව කවරෙකුගේ වුවද බහුතරයක් ජනතාවගේ අදහස් එය නම් එය ජයග්‍රණය කළ යුතුය.
බැසිල් හා විමල්
මේ මොහොතේ බැසිල්ගේ දේශපාලන භූමිකාව වෙනස්ය. ඔහු දැන් පොහොට්ටුව මෙහෙය වන්නාය. අවුරුදු 2 1/2 ඇතුළත පොහොට්ටුවට දල සිටින ජයග්‍රාහී පුද්ගලයා ඔහුය. ඔහු මැතිවරණය අවසන් වූ පසු රටින් පළා ගියේය. ඒ අවස්ථාවේ මේ රටේ සිටි අද පොහොට්ටුවේ සිටින නායකයින් පරාජයේ සියලු වැරදි බැසිල් මත තැබූහ. ලොකුම හොරා බැසිල් වීය. සියලු දේම පාලනය කළ පුද්ගලයා ඔහු බැවින් සියලු වැරදීම්වලට වගකිව යුත්තා ඔහු විය. සියල්ලන්ම පරාජය සම්බන්ධව චෝදනා කළේ ඔහුටය. රටින් පිටවූ බැවින් ඔහු සියල්ලේම වගකීම භාරගත යුතු පුද්ගලයා ලෙස සමාජ ගත විය. එදා සිටි බොහෝ නායකයින් ඉතාමත් ලේසියෙන් සියලු වැරදි බැසිල් පිට තැබුවෝය. බැසිල් මේ කිසිවෙකුට උත්තර දෙන්න නොගියේය. ඔහු කල් යල් බලා ලංකාවට පැමිණියේය. ඔහු රටට පැමිණෙන විට ද්‍රෝහී බැසිල් විය. ඔහුව කිසිවෙකු ගණන් ගන්නේ නැත. ඔහු සමඟ උසාවියට යෑමට කිසිවෙකු සොයා ගන්නට සිටියේ නැත. ඒ ආවේ නම් වාටියේම සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ය. ඔහු මුල් දිනවල උසාවි ගියේ ඔලුව හංගාගෙනය. කෙසේ හෝ ඔහු පසුගිය මැයි දිනයේ විශාල සෙනගක් කොළඹට ගෙන ඒමේ සංවිධායකයා විය.
එහිදී ඔහු මහින්දට හිතවාදී බලවේගවල බලය තහවුරු කරගත්තේය. නැවත වතාවක් ඔහු “බැසිල් සර්” විය. ඔහු පළාත් පාලන ඡන්දයේ ප්‍රධාන සන්විධායකයා විය. මැතිවරණයේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ හැසිරීමත් එජාපයේ දියාරු දේශපාලනය නිසාත් පොහොට්ටුවට ගමේ බලය තහවුරු කරගන්නට හැකි විය. එහිදී වීරයා බැසිල් විය. ඔහු ඔටුන්න කාණුව දිගේ පැමිණ ඔලුවට වැටෙන තුරු බලා නොසිට එය රැගෙන ඔලුවට දමා ගත්තේය. දැන් ඔහුට එරෙහි වුවන් සොයා ගැනීමට වත් නැත. දැන් අප ඉදිරිපිට ඇති පැනය වන්නේ පසුගිය ජනාධිපතිවරණය පරාජයට හේතුව බැසිල් නම් ඒ බැසිල් කවරෙක්ද? පොහොට්ටුවට ජයග්‍රහණය කරා ගෙන ගොස් ඇත්තේ මේ බැසිල් නම් අර බැසිල් කවරෙක්ද යන බවයි. විමල්ටද ඇත්තේ ඒ බැසිල් පිලිබඳ භීතිකාවක් නොව මේ බැසිල් පිලිබඳ භීතිකාවකි. මන්ද මේ බැසිල් විධායක ජනාධිපති ධුරයට විරුද්ධය. එසේ විධායක ජනාධිපති ධූරය අහෝසි වූ වටපිටාවක අගමැතිවරයෙකු තැනෙන තැනකට බැසිල් කැමතිය. මන්ද ඔහු දැනටමත් පොහොට්ටුවේ නායකයාය.
ප්‍රියන්ත කුමාර රණසිංහ.