facebook ඇතුළු සමාජ ජාල අවහිර කිරීමෙන් කට කතා දෝරේ ගලයි.
මේ වන විටත් සමාජ ජාල අවහිර කිරීමත් සමඟ ජාතිවාදය අවුස්සන කටකතා දිවයින පුරා පැතිර යැවීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව වාර්තා වෙයි. සංවිධානත්මකව දියත්ව ඇති ජාතිවාදී ප්රහාරයන් වැළක්වීමේ පියවරක් ලෙස රජය මේ පියවර ගෙන ඇති බව සඳහන් වුවත් ඊට එරෙහිව මේ වන විට දැඩි විරෝධයක් එල්ලවී තිබේ. ඒ හමුවේ විවිධ පාර්ශව ඇමතුම් ලබාදෙමින් ව්‍යාජ තොරතුරු ලබාදෙන බවත් ජනතා ආවේග පිටකිරීමට සහ තොරතුරු දැනගැනීමට ඇති හැකියාව මේ ආකාරයෙන් අවහිර එල්ල කිරීම කොහෙත්ම සුදුසු ක්‍රියාවක් නොවන බව facebook අවහිර කිරීමට එරෙහි පාර්ශව සඳහන් කරයි.
ආරක්ෂක අංශ හරහා සමාජ ජාල පාලනය කිරීමට ඉල්ලීමක් ලැබී ඇති බවට විදුලි සංදේශන නියාමන කොමිසමේ ආරංචිමාර්ග ද සඳහන් කර සිටි නමුත් ඒ හරහාද දැනගන්නට ලැබුණේ facebook ඇතුළු සමාජ ජාල පාලනයකට සහ විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව පමණය.
ජාතිවාදී කෝළාහල ඇතිවූ අනෙක් රටවල මෙවැනි උපක්රමයන් දියත් කර ගැටුම් පාලනය කිරීමට එම රටවල රජයන්ද කටයුතු කර ඇති නමුත් එය ඉතා අසාර්ථක උපක්‍රමයක් බව මේ ගැන විවේචනය කරන පිරිස් සඳහන් කරයි. facebook අවහිර කර ඇති නමුත් twitter සක්‍රීයව පැවතීම දරුණු හාස්‍යක් බවත් ඒ හරහා මේ තීන්දු තීරණ ගනුලබන පාර්ශව වල තිබෙන ළදරු මානසිකත්වය අනාවරණය වන බවද ඔවුන් පවසයි.
ඒ බව සඳහන් කරමින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජාතිවාදී ප්‍රහාර සැලසුම් සහගතව දියත් කර ඇති බව පෙනීයන නමුත් එක් සමාජ ජාලයක් හෝ අන්තර්ජාලය අත්හිටුවීම එම තත්ත්වය පාලනය කිරීමට කිසිසේත් දායක නොවන බවය.
එම පිරිස් සඳහන් කරන ආකාරයට සමාජ ජලා අන්තර්ජාලය තුළ තිබෙන්නේ මිනිසුන් අතර සම්බන්ධතා ගොඩනගා ගනිමින් දැනුම, තොරතුරු විනෝදය සහ අත්දැකීම් බෙදාහදා ගැනීමටය. එවැන්නක් සමාජ විරෝධී කටයුතු වෙනුවෙන් ඉතා සුළුතරයක් යොදාගැනීමේ ඉඩකඩ යනු ලංකාවට පමණක් මේ මොහොතේ අදාළ දෙයක් නොවේය. මිනිස් අවකාශයක් බැවින් කවදත් කොහොමත් කොතනත් එවැන්නක් සිදුවීමේ සම්භාවිත ඇත.
එහෙත් එය විශේෂයක් කොට ගෙන සමස්ථ සමාජ ජාල පද්ධතිය හෝ හඳුනාගත් එක් සමාජජාලයක් අවහිර කිරීම අදාළ සිදුවීම පාලනය කිරීමක් සඳහා සහය ලැබීමකට වඩා ඉතා නරක පුර්වාදර්ශයක් සපයන්නක් වෙයි.
ඒ ඉදිරියේදී පාලකයින් කරන ඕනෑම අකටයුත්තක් සම්බන්ධව සමාජ ජාල තුළ සංවාදයට බඳුන්වීම පාලනය කිරීමට දක්වා මේ ආදර්ශය යොදා ගැනීමේ අවධානමක් මතුවන නිසාය. තෙල්දෙණිය මුල් කරගෙන මහනුවර ප්‍රදේශ ආශ්‍රිතවත් ඊට පෙර අම්පාර, ගිංතොට, අලුත්ගම පමණක් නොව කූරගල වැනි ස්ථාන රැසක දියත්වූ ජාතිවාදී කටයුතු සඳහා facebook සමාජ ජාල යොදාගනු ලැබිණ. ඒ අවස්ථා වල මේ ආකාරයට ආණ්ඩු කටයුතු කරේ නැත. එහිදී අදාළ ජාතිවාදීට එරෙහිවද සමාජ ජාල තුළ ප්‍රබල විරෝධයක් එල්ලවූ බවද සිහිපත් කළ යුතුව ඇත.
සැබවින්ම පුද්ගල ඝාතනයක් පදනම් කරගෙන එය ජාතිවාදී කෝලාහලයක් දක්වා වර්ධනය වීමට පහසුකම් ලැබුණේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකළ නිසාය. එසේම බුද්ධි අංශ පවා මේ අවස්ථාවේ සිය වගකීම් නිසිලෙස ඉටුකළාද යන සැකය ප්‍රතික්ෂේප කල නොහැකිය. ඒ තෙල්දෙණිය ඇතුළු ඊට තදාසන්න ප්‍රදේශ වල ජාතිවාදී ප්‍රහාර දියත් කල පිරිස් බොහොමයක් පිට ප්‍රදේශ වල සිට ඒ සඳහා පැමිණීමත් ඔවුන් මීට පෙරද ඇතිවූ මෙවන් සිදුවීම් පසුපස සිට ඒවා මෙහෙයවූ පාර්ශව බව අනාවරණය වී තිබීමත් නිසාය.
ඒ අනුව මේ සම්බන්ධව විවේචනය කරන පිරිස් පෙන්වා දෙන්නේ රජය සමාජ ජාල, වෙබ් ඇතුළු අන්තර්ජාල පහසුකම් අත්හිටුවා ජාතිවාදීන් මෙල්ල කිරීමට සිතීම පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකට වැඩි යමක් නොවන බවය.