ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

අසිත ප්‍රනාන්දුට අද විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා වරම්..?

බංග්ලාදේශයට එරෙහිව  අද (18 වැනිදා) ශිලාත්හිදී පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 තරගයේදී දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර වරම් දිනාගැනීමට වැඩි ඉඩක් පවතින බව වාර්තාවේ.

දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනාම දැඩි ලෙස බංග්ලාදේශ පිතිකරුවන්ගේ පහර කෑමකට ලක්වීමත් සමග දෙවැනි තරගයේදී අසිත ප්‍රනාන්දුට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කලමණාකාරීත්වය අවධානය යොමු කර ඇතැයි දැනගන්නට ලැබේ.

ෂෙහාන් මධුෂංක සහ ඉසුරු උදාන පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කළ අතර මධුෂංක යැවූ 3 දී ලකුණු 39 ක්ද, උදාන යැවූ ඕවර 4 දී ලකුණු 45 ක්ද රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූහ. එහිදී එක් කඩුල්ලක් දවාගැනීමට උදාන සමත් වුවද, මධුෂංකට එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට නොහැකි විය.

එබැවින් ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට අද තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමිවීමටත්, ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත් වීමටත් වැඩි ඉඩක් පවතී. එම වෙනස්කම හැරුණුකොට පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම දෙවැනි තරගයටද ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය.

ටෙස්ට් තරග වලදී මෙන්ම විස්සයි20 තරග වලදීද කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවකු ලෙස යොදාගැනීම සාර්ථක වූ බැවින් අද තරගයේදීද ධනුෂ්ක ගුණතිලක සමගින් ඔහු ශ්‍රී ලංකා ඉනිම අරඹනු ඇතැයි විශ්වාස කළ හැකිය. පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ කුසල්, පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 53 ක් රැස්කරමින් තරගයේ වීරයා බවටද පත් විය.