තාජුඩීන් ගැන ඇත්ත දැනගන්න අපි බලාගෙන ඉන්නවා…

“අපේ ආගම අනුව අපි ඉපදෙනවිටම අපේ මරණයත් ලියවෙනවා කියල විශ්වාස කරනවා. නමුත් මේක ඝාතනයක්. පුතා රිය අනතුරකින් මැරුණා නම් ඒක අනතුරක් කියල හිත හදාගන්න තිබුණා.එක්කෝ එක වෙඩිපහරකින් මැරුණා නම් මේ තරම් දුකක් නෑ.ඒත් දෙන්න ඕනෑ හැම දස වදයක්ම දීලා මරනවා නම්? මේවා කරන උදවියට දරුවන් ඉන්නවාද කියල අපිට හිතාගන්න බෑ. නීතිය සාධාරණව ඉටු වනතුරු අප බලා සිටිනවා. බුදු දහමේ තියෙනවා දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියල දෙයක්. ඒ අනුව මේවා කළ උදවියට ඒ ඒ ඵලවිපාක ලැබෙයි.”
කුඩා කල තම පපුවේ රුවාගෙන ආදරය කළ වසීම් තාජුඞීන් පුතු ඝාතනය වීමෙන් පසුව ඉපදුනු තම පුතාට වසීම් යන නාමය තැබූ ඔහු මීට හරියටම වසරකට පෙර ‘ඉරුදින’ සමඟ කළ ප්‍රකාශය දෛවෝපාසගතය. තම ආගමානුකූලව සුදු රෙදි කඩින් මිය ගිය සිරුර ඔතනවා වෙනුවට තම ආදරණීය පුත්‍රයාගේ සැක මුසු සිදුරු සහිත මරණය අනාගතයේ යම් යුක්තියේ ඉවක් වෙනුවෙන් සුදු ඉටි රෙදි වලින් ඔතා භූමදාන කළ ඔහු ඝාතනය වූ තාජුඞීන්ගේ මාමා ය. තම ආදරණීය පුත්‍රයාගේ යුක්තිය ඉටු වීම පිළිබඳව වසර ගණනාවක් බලා සිටි ඔහු නමින් ෆයාස් ලතීෆ් ය. ඔහුගේ ප්‍රකාශයට ඉදින් හරියටම වසරක් පිරෙන තැන තාජුඞීන් ඝාතනයේ දැනට ප්‍රධානතම සැකකරු වන අනුර සේනානායකට තම එකම දියණියගේ උපාධි උත්සවයට යෑමට අධිකරණය අවසර නොදීම කෙතරම් දෛවෝපාසහගත ද? පියෙකුට ,ඥාතියෙකුට තම දරුවා අහිමි කිරීමේ වේදනාව කොතෙක්දැයි අනුර සේනානායකගෙන් අසන්නට හෝ මේවාට අණ දුන් පියවරුන්ගෙන් අසන්නට තරම් අප අසංවේදී නොවෙමු.
අධිකරණය අනුර සේනානායකට තම එකම දියණියගේ ජීවිතයේ වැදගත් අවස්ථාවකට සහභාගී වීමට අවසර නොදීම පිළිබඳව ද තම පුත්‍රයන් සිර අඩස්සි ගතවන විට හිටපු ජනපතිවරු කඳුලූ සලන විට ද සතුටු වන්නට තරම් මේ රටේ මිනිස්සු අසංවේදී නොවෙමු. නමුත් තම තමන් කළ අපරාධ පිළිබඳව තම හෘද සාක්ෂ්යයෙන් හෝ දිට්ඨධම්ම වේදනීය කර්මයෙන් කෙලෙස ඒ උදවියට ගැලවෙනු හැකි වනු ඇති ද?
වසීම් තාජුඞීන්ගේ ඝාතනයට අදාළව සාක්ෂි වසන් කළැයි රක්ෂිත බන්ධනාගර භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයේ අවසරයකින් තොරව කොලඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලැබීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පසුගිය 10 වැනිදා අවසන් වරට නඩුව කැඳ වූ අවස්ථාවේ දී එම රෝහලේ අධ්යක්ෂවරයාට නියෝගයක් නිකුත් කළේය. එසේ ඔහු කොපමණ කාලපරාසයක් එම රෝහලේ ප්‍රතිකාර ලැබුවා ද, ඔහු ප්‍රතිකාර ලබාගැනීමට හේතුවූ කරුණු කවරේ ද යන්න සම්බන්ධයෙන් එම වාර්තාව අධිකරණය වෙත ලබා දෙන ලෙසට මෙහි දී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. එසේම, බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබානොගෙන කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කෙරිණි.
මෙම ඝාතනයට අදාළ සාක්ෂ්‍ය වසන්කර කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා යන අය රක්ෂිත බන්ධනාගාරය මගින් මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
අනුර සේනානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එන්. ධනරාජ් සඳහන් කළේ තම සේවාදායකයාගේ එකම දියණියගේ උපාධි ප්රදානෝත්සවය ලබන 15 වැනිදා පැවැත්වෙන බැවින් බන්ධනාගාර ආරක්ෂාව මැද හෝ ඒ සඳහා සහභාගිවීමට අවසර ලබා දෙන ලෙසය.
එහිදී රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් තරයේ විරුද්ධ විය. එහිදී සැකකරුගේ ඉල්ලීම අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය මත පිහිටා එවන් නියෝගයක් නිතුත් කළ නොහැකි බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.තම දියණිය වෙනුවෙන් අනුර සේනානායක අද මෙවැනි ඉල්ලීමක් කළ ද ඝාතනය වූ තාජුඞීන් යනු තවත් පියෙකුගේ පුතෙකු බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ වීම පුතුන් අහිමි පියවරුන්ටත්, ඔවුන්ට ඔවුන් අහිමි කළ අලූගෝසුවන්ටත් ගෙන එන සංතාපය දේශපාලන බලය ඉදිරියේ කෙළෙස කේවල් කළ හැකි වනු ඇති ද?
” එදා අපිට මේ සිද්ධියත් එක්ක ඕන වුණේ අපේ ආගමට අනුව වසීම් පැය විසිහතරෙන් භූමදානය කරන්න. ඒත් අපට ඕන විදියට අපේ පුතාගෙ මරණය ලැබුණෙ නැහැ. ඒ අය වසිම්ව අපට දෙන්න ප්‍රමාද කළා. මරණය අඳුරගන්න ගියපු වසීම්ගෙ සහෝදරියට ගොඩක් බලපෑම් සිදු වුණා. දෙවරක්ම ඇයගෙන් දිවුරුම් ප්‍රකාශ අරගත්තා. ඒ අවස්ථාවේ අපට ඕනෑ වුණේ ආගමානුකූලව ඉක්මනින් වසීම්ගේ අවසන් කටයුතු කරන්න.
මම තමයි වසීම්ගෙ අවසන් කටයුතු කරන අවස්ථාවේ ළඟ හිටියේ. පොලීසිය කියන විදියේ සලකුණු මෘත ශරීරයේ තිබුණා. බෙල්ල ළඟ සිදුරක් තිබුණා. ඉස්සරහ දත් හතරක් විතර කැඩිලා තිබුණා. කකුලේ කලව ප්‍රදේශයේ සිදුරු තිබුණා. එක කකුලක් කැඩිලා තිබුණා. කාර් එකේ දොර ගලවලා ඇතුළේ ඉඳපු වසීම් ගනිද්දි මම එතන හිටියා. අනතුර නිසා මෙහෙම තුවාල වුණා කියලා හිතන්න බෑ.
කාර් එකේ කිසිම කොටසක් වසීම්ගේ ඇනිලා තියෙනවා අපි දැක්කේ නෑ. අපි දන්නවා මේ රටේ ඕනෑ තරම් රිය අනතුරු වෙනවා. ඒත් අපි කොහේද දැකලා තියෙන්නෙ මෙහෙම වාහන ගිනි ගන්නවා? අනතුරුවලදී එහෙම ඇනෙන්න දේවල් තියෙනව ද? ”
” එදා තිබුණු වාතාවරණය එක්ක අපි මේ ගැන කතා කරන්න ගියේ නෑ. පස්සෙ පස්සෙ අපිට විවිධ ආරංචි ලැබුණා. අපි පොලීසියට ගිහින් ඒවා කිව්වත් එදා කිව්වා මේක සාමාන්‍ය රිය අනතුරක් කියලා. මෘත ශරීරාගාරයෙන් වසීම්ව අරගෙන අපි ගෙදර ගෙන ගියේ නෑ.
කෙළින්ම පල්ලියටයි අරගෙන ගියේ. අපේ ආගමට අනුව සුදු රෙද්දකින් තමයි අපි මෘත ශරීරය ඔතන්නේ. කෝටිපතියටත්, හිඟන්නටත් පොදු ආගමානුකූල චාරිත්‍රයක් ඒක. සියලූම චාරිත්‍ර සාමාන්‍ය විදියට කළත් අපි සුදු රෙද්දෙන් වසීම්ව එතුවේ නෑ.අපි ආගමානුකූලව ජීවත් වන මිනිස්සු. අපි අපරාධ කරලා නෑ. අපි පව් නොකරපු මිනිස්සු. ඒ නිසා එදා මට ශක්තියක් තිබුණා වසීම්ගේ දේහය පොලිතීන් එකක ඔතලා භූමිදාන කරමු කියලා කියන්න. ඒ අනුව මම පල්ලියේ තවත් දෙදෙනෙකු සමඟ එකතු වෙලා සුදු පොලිතීන් ගෙනත්, ඒවා පටි කපලා වසීම්ව එතුවා. ඊට පස්සෙයි අපි සුදු රෙද්දෙන් එතුවේ. අද ඒක වසීම්ට සාධාරණයක් ඉටු කරන්න ලොකු වාසියක් වෙලා තියෙනවා. එහෙම ඔතපු නිසා දේහය හොඳින් තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණයට ආව නිලධාරීන් අපට කිව්වා. අපේ ආගම අනුව කියනවා භූමදානය කරපු තැන ගහක් සිටෙව්වාම ඒ පුද්ගලයාට සෙවණ ලැබෙනවා කියලා. තවත් පැත්තකින් ඒක ඔහු වෙනුවෙන් කරන යාච්ඥාවක් වගේ. වසීම් භූමදානය කරපු තැන කොහොඹ ගහක් සිටෙව්වේ අපේ බාල මල්ලී. එයා හරිම ආදරෙයි නිතරම හිනා වෙලා ඉඳපු වසීම් පුතාට. අපි වසීම් පුතාට කොච්චර ආදරේ කළාද කියනව නම් ඔහුගෙ මරණයෙන් පස්සෙ ඉපදුණු මගේ පුතාට වසීම්ගෙ නම තිබ්බා.
එදා වසීම්ගෙ සොහොනෙ සිටවපු ගහ මේ තරම් කෙටි කාලයකදි ගොඩක් උසට හැදිල තිබුණේ අපිට හිතාගන්න බැරි විදියට. අපිට මේකේ අවසානය දකින්න ඕනෑ. වසිම් මේ රටේ පුරවැසියෙක්, ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙක්. අපිට දැන ගන්න ඕනෑ මේක ඝාතනයක් නම් කළේ කවුද, කොහොමද කළේ කියලා . අපේ පවුලේ කිසිම කෙනෙක් අද වෙනකම් කාටවත් චෝදනා කරලා නෑ. වසීම්ගේ මාමා හැටියට මට සැකයක් තිබුණා මේ මරණය පිළිබඳව.
ඒ කාලෙ ඔහුගේ දෙමාපියන්ට පොලිසිය දිගින් දිගටම පැහැදිලි කළේ මේක සාමාන්‍ය රිය අනතුරක් කියලා. ඒ නිසා ඔවුන් ඒක ඒ කාලයේ පිළිගත්තා. නමුත් අපි දැන් බලාගෙන ඉන්නවා මේකෙ ඇත්ත දැන ගන්න.” තාජුඞීන් සුසානයේ කොහොඹ ගහ සේම පරීක්ෂණ දැන්බ්ඉහළටම වැඞී ඇත. ඉන් යුක්තියේ සෙවන ලැබෙන තුරු රටක් නිරුවත් දෑසින් බලා සිටී. තොරතුරු වසන් කරන්නට අණ දුන් අනුරලා සේම අනුරලාට අණ දුන්නන් ද නීතිය හමුවට ගෙන ඒමට දැන් කාලය පැමිණ ඇත.
2011 වසරේ දී ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සාමාන්‍ය පරිපාටියෙන් බැහැරව ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය පදනමට සිය සංචිතයෙන් සුදු පැහැති ඩිපෙන්ඩර් රථයක් ආධාර ලෙස ලබා දුන්නේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට සඳහන් කළේ වසීම් තාජුඞීන් කිරුලපන දී පැහැර ගැනීමට යොදා ගන්නා ලද්දේ එම WP – KA 0642 දරණ ඩිපෙන්ඩරය බවයි.
එම රථය එදා ශිරන්ති මැතිණිය ලබා ගෙන තිබුණේ කාන්තාවන් සහ දරුවන්ගේ සෞඛ්‍ය නගා සිටුවීමට ය. තවත් මවකට තම දරුවා අහිමි කිරීමට එම රථයම යොදා ගත්තේ නම් හෘද සාක්ෂ්යයේ නීතිය ඉදිරියේ ශිරන්තිලාට ගැලවීමට හැකිවනු ඇති ද?
පසුගිය සතියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වා සිටියේ අදාළ ඝාතනය සිදු වූ දින ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අනුර සේනානායකට දුරකථන ඇමතුම් ලැබී ඇති බවකි.
ඊට පෙර කිය වුණේ එදවස මාලක සිල්වලාට පහර දුන් ජනාධිපති ආරක්ෂක අංශයේ කැප්ටන් තිස්සලා මෙම ඝාතනයට පැමිණි බවය. ඉහළම ආරක්ෂක ප්‍රධානීන් නොදැනුවත්ව එදවස මෙලෙස කටයුතු කළ හැකිවේ ද? තම පුත්‍ර රත්නයන් වූ යෝෂිත, නාමල් සිරගත වන විට ශිරන්තිලාට මහින්දලාට ඉනූ කඳුලූත් සදහටම තම පුතුන් අහිමි වූ තාජුඞීන්ගේ මවටත් පියාටත් මෙන්ම සිය ගණන් මාපියන්ට ඉනූ කඳුලූත් අද ඉහළ යාන්ත්‍රණයේ අණට ඝාතන වසන් කළ අනුරලාට ඉනූ කඳුලූත් එකම නොවේ ද?
වංචා දූෂණ වෙනුවෙන් නීතියේ ආධිපත්‍ය තුළ සැප මෙට්ට සමඟ රක්ෂිත බන්ධනාගාර ගත වන විට කකියන හදවත් තිබූ නාමල්ලාට යෝෂිතලාට දැනුණු වේදනාව මෙන් දහස් ගුණයක් පණ පිටින් ගිනි තැබූ තාජුන්ඞීන්ලාගේ සහෝදර සහෝදරියන්ට දැනෙනවා නොවේද? දිට්ඨධම්ම වේදනීය කර්මය ඉදිරියේ වේවා හෘද සාක්ෂ්‍ය ඉදිරියේ වේවා, නීතිය ඉදිරියේ වේවා මතු දිනෙක සඟවාගෙන සිටින බොහෝ දෑ එලිවනු ඇත. දේශපාලන බලය ඉදිරියේ අපරාධ කරන්නවුන් සේම ඒවා සඟවන්නන් ද නව පාලන බලයේ සිටින පිය පුතුවරුන් ද මේවායින් වඩ වඩා උගත් පාඩම් ඉගෙනගත යුතුය.
(කසුන් පුස්සෙවෙල)