කමිටුවේ විසඳුම් අද නොලැබුණොත් හෙට බරපතළ වේවි
උමා ඔය විනාශය සම්බන්ධව කැබිනට් අනු කමිටුවේදී නිසි විසඳුමක් අද (03දා) නොලැබුණොත් හෙට සිට ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග වඩාත් බරපතළ වනු ඇතැයි උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ජවිපෙ පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න ආණ්ඩුවට අනතුරු අඟවයි.
උමාඔය විනාශයට එරෙහිව දැවැන්ත සංවිධාන ශක්තියක් මේ වන විට ගොඩනැඟී ඇති බැවින් ආණ්ඩුව වහාම නිසි පිළිතුරු ලබාදිය යුතු බව විද්‍යාරත්න මහතා අවධාරණය කරයි.
මන්ත්‍රිවරයා චෝදනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු පිරිසක් මෙම ජනතා සටන කඩාකප්පල් කිරීමේ උවමනාවෙන් කටයුතු කරන අතර එහි හොඳම උදාහරණය මන්ත්‍රි චමින්ද විජේසිරි යෝජනා කළ ව්‍යාපෘතියේ දෙපස වසා මැදින් පුපුරවා හැරිය යුතු බවට කළ යෝජනාව බවයි. එසේ සිදුකළහොත් ගම්මාන විශාල ප්‍රමාණයක් පවතිනවාට වඩා විනාශයකට පත්වන බවද ඔහු පෙන්වා දෙයි.
මෙම විනාශකාරී ව්‍යාපෘතිය සම්බන්ධව ඇමැති හරින් ප්‍රනාන්දු සහ මහින්ද අමරවීර ඉදිරිපත් කළ ලිපි සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන බව පවසන විද්‍යාරත්න මහතා කියා සිටියේ තවදුරටත් ජනතාව රැවටිය නොහැකි බැවින් ජනපති, අගමැති සෘජුව මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඇතැම් සුළු පිරිසක් චෝදනා කරන පරිදි මෙම සටහන දේශපාලන වාසි ගැනීමේ සටනක් නොවන බවත් එසේ වාසි බලාපොරොත්තුව සටන් කළා නම් එදා මැතිවරණයෙන් පැරදුණු තමා අද ජනතාව සමඟ මෙලෙස පාරට නොබසින බවත් විද්‍යාරත්න මහතා කීය.