ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

උමා ඔය: “සහායට නොර්වේ විශේෂඥයින්”

ජනතාවට බලපෑමක් නොවන අයුරින් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා විදේශීය විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඉංජිනේරුවන්ගේ උපදෙස් නොතකා දේශපාලන තීන්දු මත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හේතුවෙන් එහි අයහපත් ප්‍රතිවිපාකවලට ප්‍රදේශයේ ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන බව ජනාධිපතිවරයා කියා සිටියේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“වැරදි ඇස්තමේන්තු සකස් කරමින් ව්‍යාපෘතියෙන් මූල්‍ය වංචා සිදු කළ පුද්ගලයන්” පිළිබඳ වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට තමා ඉදිරියේදී අපේක්ෂා කරන බව බදාදා (ජුනි 28) නුවරඑළියයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා පවසා තිබේ.

මතුව ඇති තත්ත්වය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ තමා පසුගිය දින කිහිපය තුළ දේශීය මෙන්ම විදේශීය විශේෂඥයින් සමග සාකච්ඡා පැවැත්වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා මේ වනවිට ජර්මන් රජයේ කැණීම් කටයුතු පිළිබඳ විශේෂඥයෙකු ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව කියා සිටී.

‘නොර්වේ සහාය’

මෛත්‍රිපාල සිරිසේනImage copyrightPRESIDENT.GOV.LK

ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය සඳහා තවත් සති කිහිපයකින් නෝර්වේ රජයේ විශේෂඥ කණ්ඩායමක් ද දිවයිනට පැමිණිමට නියමිත බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා තමන්ට මුහුණ දීමට සිදුවී ඇති ගැටලුවලට වහා විසඳුම් දෙනලෙස ඉල්ලා බදාදා (ජුනි 28) බණ්ඩාරවෙල නගරයේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කෙරිණි.

උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් විනාශ වූ නිවාසවලටවන්දි සැපයීම, උමං තුළ සිදුවෙන ජල කාන්දුවීම් නතර කිරීම සහ ව්‍යාපෘතියේ ඉදිරි සැලසුම් පෙරට ගෙනයාමට පෙර පරිසර වාර්තා සැලකිල්ලට ගැනීම ආදිය සඳහා පියවර ගන්නා මෙන් විරෝධතාවට සහභාගී වූ දහස් ගණනක් ජනතාව රජයෙන් ඉල්ලා සිටියහ.

(BBC)