උමාඔය විරෝධයෙන් බණ්ඩාරවෙල රත්වෙයි

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා තමන්ට මුහුණ දීමට සිදුවී ඇති ගැටලුවලට වහාම විසඳුම් දෙනලෙස ඉල්ලා සිටිමින් දියත් කෙරුණ මහජන විරෝධතා ව්‍යාපාරයක් නිසා ඊයේ (ජූනි 28) බණ්ඩාරවෙල නගරයේ සියලු කටයුතු අඩාල විය.
එම මහජන උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගී වෙමින් සිටි දහස් ගණනක් ජනතාව උමාඔය ව්‍යාපෘතිය නිසා නිවාස විනාශ වීමෙන් අසරණ තත්වයට පත් ජනතාවට වන්දි සැපයීම, උමං තුළ සිදුවෙන ජල කාන්දුවීම් නතර කිරීම සහ ව්‍යාපෘතියේ ඉදිරි සැලසුම් පෙරට ගෙනයාමට පෙර පරිසර වාර්තා සැලකිල්ලට ගැනීම ආදිය සඳහා පියවර ගන්නා මෙන් රජයට බල කරමින් සටන් පාඨ හඬ නගමින් පෙළපාලියෙන් ගමන් ගත්හ.

දහස් සංඛ්‍යාත ජනතාව විරෝධතා ව්‍යාපාරයට එක්වීමත් සමඟ බණ්ඩාරවෙල නගරයේ දෛනික කටයුතු අඩපණ වූ අතර ප්‍රවාහන සේවාවන් අකර්මණ්‍ය වීම පාසල් ළමුන් කෙරෙහිත් විශාල බලපෑමක් ඇති කරන ලදී.
- වන්දි නොලද උමාඔය ගොවීන් අධිකරණය ඉදිරියේ
- උමා ඔය: නව වසර උදාවෙද්දී ‘ගෙවල් හයක් ගිලා බසී’
- උමා ඔය ව්‍යාපෘතිය නවතා දමනු – ප්‍රදේශවාසීන්
විරෝධතා ව්‍යාපාරයට සහභාගී වුවන් නගරය ඔස්සේ පෙළපාලියෙන් ගමන් ගනිද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේ සමඟ සෙසු ආගමික නායකයන් ද ඊට එක්ව සිටියහ.

ඇතැම් විරෝධතාවාදීන් ගමන් ගත්තේ කළුකොඩි රැගෙනයි.
වෙළෙඳ සැල් වසා දමා තිබෙනු දක්නට ලැබුණි.
උමාඔය විරෝධතාවාදීන් සමඟ සාකච්ඡාවක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වූ බව අලුතින්ම ලැබෙන වාර්තා මගින් පැවසෙයි.
කලින් බලයේ සිටි ආණ්ඩුව යටතේ උමාඔය ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ ඉරානයේ ආධාර ලබන බහුකාර්ය සංවර්ධන සැලැස්මක් වශයෙනි.

(බීබීසි)