වැස්සත්-පෑව්වත් ආපදා වෙන්නේ අපේම වැරැද්දෙන් – පරිසරවේදී සජීව චාමිකර
ස්වභාවික ආපදා නිතර සිදුවන තත්ත්වයක් තුළ පරිසරවේදීන්ගේ කාර්යභාරය කුමක්ද? සංවර්ධන කටයුතුවලට විරෝධය පෑම හැර විකල්ප මාර්ගවලට යොමුවන්නට මෙරට පරිසරවේදීන්ට නොහැකිවීමට හේතු කවරේද? පරිසර ආරක්ෂාව පිළිබඳ ජනතා අවබෝධය පුළුල් කරන වැඩසටහන්වලට පරිසරවේදීන්ට යොමුවිය නොහැකි මන්ද? ඒ පිළිබඳ පැහැදිලි කරන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර මහතා.
ලංකාව ස්වභාවික ආපදා තත්ත්වයන්ට වැඩි වැඩියෙන් මුහුණදෙන තත්ත්වයක් උදාවෙලා. ඊට හේතුවන කාරණා මොනවාද?
ස්වභාවිකව ආපදා ඇතිවෙන්නේ නැහැ. වැස්ස ඇති වෙනවා, නියං ඇතිවෙනවා. මේවා ආපදා තත්ත්වයට පත් කර ගන්නේ අපිමයි. මානව ක්‍රියාකාරකම් නිසා තමයි ආපදා ඇතිවන්නේ. ඒවාට සංවර්ධන ක්‍රියාවලීන් වගේම අපේ වැරදි ඉඩම් භාවිත ක්‍රියාවලියත් බලපානවා.
ලෝකයේ පාරිසරික සාධක අපට බලපෑම් කරනවා. වෙනත් රටවල් කරන පරිසර හානියට අපිටත් වගකියන්න වීම ගැන ඔබ මොකද කියන්නේ?
ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් තිබෙනවා. ඒකෙ ප්‍රතිඵල හැටියට ලොව වටා ගමන් කරන උණුසුම් දියවැල් හා සීතල දියවැල් ගමන් කිරීමේ යාන්ත්‍රණය වෙනස් වෙලා. මේ නිසා හදිසි ගංවතුර නායයාම් වැනි තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන් සමකය ආශ්රිත රටවලට හා දූපත්වලට මේ බලපෑම වැඩියි. අපේ වගේ රටවලට මේ බලපෑම වැඩි වෙන්න හේතුව, ඉන්දියන් සාගරයෙන් වටවීමත්, නැඟෙහිරින්, බටහිරින් හා දකුණෙන් මුහුදේ ප්‍රමාණය වැඩිවීමත් නිසයි. මේ නිසා දියවැල්වල වෙනස්කම් අපිට කරන බලපෑම වැඩියි.
ගෝලීයව සිදුවන මේ විපර්යාසයට රටක් හැටියට අපි මුහුණ දෙන්නෙ කොහොමද?
ගෝලීයව සිදුවන දෙයට පරිබාහිරව අපි කරන කටයුතු නිසා මේ තත්ත්වය අපිට උදාවෙනවා. එක්වරම කෙටි කාලයක් තුළ වැසි වැටීම, විසිරුණු නියං කාලයක් වෙනුවට දිගුකාලීන නියං ඇතිවීම ගෝලීයව සිදුවන පාරිසර විනාශයේ ප්‍රතිඵල ලෙස අපට ඇතිවන තත්ත්වයි.
අපේ සංවර්ධන රටාව, ඉඩම් භාවිත රටාව වගේම අපේ වැලි, කළුගල්, මැණික් හා වෙනත් ඛණිජ ද්‍රව්‍ය කැණීම් ඉතාම වැරදි ආකාරයෙනුයි සිදුවන්නේ. අපේ ප්‍රධාන ගංගා ද්‍රෝණි ගණනාවක් හරහා වේල්ලක් ලෙස දකුණු හා කටුනායක අධිවේගී මාර්ග ඉදිකරලා. අපේ තෙත්බිම් පද්ධතිය යටවෙලා. නිරිත දිග මෝසමත් සමඟ වැඩි ජලය රඳවා ගැනීමත්, ක්‍රමානුකූලව මුහුදට ජලය ගලායාමත් ඇහිරිලා.
මේ අධිවේගී මාර්ග හැදීමේදී පාරිසරික වාර්තා සලකා බැලුව නේද. එදා මේ තත්ත්වයන් දුටුවෙ නැද්ද?
ඕක සම්පූර්ණ වැරදි අර්ථකතනයක්. පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව එදා සකස් කළේ නියමිත ක්‍රමවේදයට නෙවෙයි. පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් කියන්නෙ පාරිසරික අනුමැතිය ලබාගන්න වාර්තාවක් නෙවෙයි. නිලධාරීන්, දේශපාලකයින්ගෙ ඔළුවෙම තියෙන වැරදි මතවාදයක් ඕක. යම්කිසි ව්‍යාපෘතියක් තිරසාර ව්‍යාපෘතියක් විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන් ද බැරි ද යන්න විමසා බැලීම විතරයි පරිසර ඇගයීම් වාර්තාවකින් කරන්නෙ. මේකෙන් පාරිසරික අනුමැතියක් ගන්න බැහැ.
අධිවේගී මාර්ග පරිසර ඇගයීම් වාර්තාව හැදුවේ ජනතාවගෙ හඬ, පරිසරවේදීන්ගෙ හඬ යටපත් කරන්න විතරයි. හරි විකල්ප හඳුනා ගැනීමක් ඒකෙන් කළේ නැහැ. කපනව පුරෝනව කියන සංකල්පයෙන් තමයි ඔය අධිවේගී මාර්ග හැදුවේ.
ඔබ පරිසරවේදීයෙක්, පරිසර සංවිධාන නායකයෙක්, නමුත් මේ ක්‍රියාවලිය හරි මඟට ගන්න ඔබට හෝ පරිසර සංවිධානවලට හැකියාව ලැබී නැහැ නේද?
පාලකයන් අපිට ඇහුම්කන්දීමේ දුර්වලතාවක් තියෙනවා. ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති කිසිවක් යථාර්ථවාදී නැහැ. යම්කිසි ව්‍යාපෘතියක් රටක සංවර්ධනය සඳහා නම් ඒක රටේ සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික සහ පාරිසරික තත්ත්වයන් ඉහළ නැංවීමට දායක විය යුතුයි. මේ රටේ හැමවෙලාවෙම වෙන්නේ ව්‍යාපෘති හරහා මේ සමස්තය බිඳ වැටීමයි.
පරිසරවේදීන්ගෙ සහ පරිසර සංවිධානවල කාර්යභාරය මොකක්ද?
අපි කියන කාරණාව ග්‍රහණය කරගන්න මේ සමාජය බුද්ධිමත් නැත්නම් ඒක අපේ වරදක් නොවෙයි. අපිට කරන්න පුළුවන් ව්‍යාපෘතියක් එනකොට ඒකෙන් වෙන්න පුළුවන් බලපෑම අනාවරණය කිරීම විතරයි. රටක සංවර්ධන යාන්ත්‍රණය කොයි මාවතට ගමන් කළ යුතුද කියන ප්‍රතිපත්ති ක්‍රියාවලියට යොමුකිරීම විතරයි අපේ කාර්යභාරය.
පරිසර සංවිධාන ආණ්ඩුවෙ හැම ව්‍යාපෘතියකටම බණිනවා විතරයි. ඇයි හරි දේට හරියි කියන්න බැරි?
අපි දිගින් දිගටම අනාවරණය කරපු කාරණාවලට පාලකයන් ඇහුම්කන් නොදීමේ ප්‍රතිඵල තමයි අද අපි මේ භූක්ති විඳින්නේ. උදාහරණයක් හැටියට උමා ඔය ව්‍යාපෘතිය. 2008 දී මුල්ගල තියල ආරම්භ කරන්න හැදුවා. ඒ අවස්ථාවේදී අපි දැඩි බලපෑම් කළා. නමුත් බලහත්කාරයෙන් මේ ව්‍යාපෘතිය පටන්ගත්තා. දැන් මේ වෙනකොට පවුල් 3700කට වැඩි ප්‍රමාණයක් අවතැන්වෙලා. වගාබිම් රැසක් හානිවෙලා.
ලංකාවෙ මෙච්චර කල් වුණේ එන හැම ව්‍යාපෘතියටම පරිසර සංවිධාන විරුද්ධ වීම. නමුත් රටකට සංවර්ධන ව්‍යාපෘති අවශ්‍යයි නේද?
සංවර්ධන ව්‍යාපෘතියකින් ජනතාවට හානියක් වෙන්න බැහැ. උමා ඔය ව්‍යාපෘතිය සංවර්ධන ව්‍යාපෘතියක් නම් පවුල් 3700ක් අවතැන්වෙන්නෙ කොහොමද? මේ තත්ත්වය තමයි අපේ රටේ තියෙන්නෙ. පරිසරවේදීන් හැටියට අපි පැහැදිලි කරන දේවල් ග්‍රහණය කරගන්න මේ සමාජය සූදානම් නැහැ. ඒකට හේතුව මේ සමාජය දැනුවත් භාවයක් නැතිවීම. පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පරිසරය විෂය ඉගැන්විය යුතුයි.
පෝට්සිටි ව්‍යාපෘතියට ඔබලා විරුද්ධ වුණා. ඒත් දැන් එය නිවැරදි ක්‍රමවේදයකට ගොඩනැඟෙමින් තිබෙනවා?
රට ඇතුළේ තියෙන ආර්ථිකය එළියෙ හදන දූපතකට ගත්තාය කියන්නෙ මුළු රටේම ආර්ථිකය බිඳ දැමීමක්. පහුගිය කාලෙ ගංවතුර තත්ත්වයන් කැලණි ගංඟා මිටියාවතේ වුණේ පෝට්සිටිය නිසයි. ඒකට හේතු සාධක අපි පෙන්නල දීල තියෙනවා. ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නෙ චීනෙන් ගත්තු ණයවලට හිලව්වක් විදියට. එහෙනම් මේක යථාර්ථවාදී ව්‍යාපෘතියක් ද? පහුගිය රජය කාලෙදි ඉතාම බලහත්කාරයෙන් මේක පටන් ගත්තෙ වර්තමාන රජය මැතිවරණ කාලෙදි විතරක් අපේ අදහස් අවධානයට ගත්තා. ඊට පස්සෙ බලහත්කාරයෙන් ආයිත් පටන්ගත්තා.
අඩුපාඩු සකසලා පරිසර හිතකාමී විදියටයි මේ ව්‍යාපෘතිය පටන්ගෙන තියෙන්නෙ?
පරිසර හිතකාමී විදියට පටන්ගත්ත නම් මම කියපු පරිසර බලපෑම් නැවත නැවත ඇතිවෙන්නෙ කොහොමද? පසුගිය ව්‍යාපෘතියෙන් පස්සෙ මේ ව්‍යාපෘතිය වෙනුවෙන් අලුතෙන් ගත්තු ක්‍රියාමාර්ග මොනවද? ඒ උපාය මාර්ග රටට හෙළිකළ යුතුයි. මෙහෙම නොදැනුවත් සමාජයක් තුළ පරිසරවේදීන්ගෙ කාර්යාභාරය අභියෝගයට ලක්වෙලා.
පෝට්සිටියට පෙර අධිවේගී මාර්ග හදන්න පෙර ගංවතුර නායයාම් ඇතිවුණා. එහෙනම් ඔබ කොහොමද කියන්නෙ මේ ව්‍යාපෘති නිසාම මේ ආපදා තත්ත්ව ඇතිවෙනවා කියලා.
තෙත් කලාපයේ පහතරට ප්‍රදේශ මේ තරම් ආපදාවට ලක්වෙච්ච ඉතිහාසයක් අපට නැහැ. ගංවතුර තත්ත්ව මීට ඉහත ඇතිවුණා. ඒත් මෙච්චර විනාශයක් වුණේ නැහැ. මෙවැනි විනාශයක් ගැන කිසිඳු ආකාරයක දත්තයක් මීට පෙර නැහැ.
ඇතිවුණු විනාශය ගංවතුර නිසාම ඇතිවූවක් නොවෙයි. වැඩිම හානිය වුණේ නායයාම් නිසයි.
ඕනෑම ක්‍රියාවලියකට එක බලපෑමක සාධක බලපාන්නේ නැහැ. ඔය විදියට විග්රහ කිරීම වැරදියි. මේක සමෝදානිතයි. ඉඩම් භාවිතය, වාණිජ බෝග වගාව, ඛනිජ ද්‍රව්‍ය කැණීම, සංවර්ධනය, මේ සියල්ල අක්‍රමවත්. වනාන්තර ඇතුළු තෙත් බිම් පද්ධතිය විනාශ කිරීම සියල්ලම ඒකාබද්ධවීමෙන් තමයි මේ ව්‍යසනය ඇති වෙන්නේ.
ඔබ ඔය කියන්නෙ අලුත් විදියට සංවර්ධනය අවශ්‍ය නැහැ කියන එකද?
පැහැදිලිවම, අපි සංවර්ධනය කරා යා යුතුයි. සංවර්ධනය කියන්නෙ රටක සියලුම පද්ධතීන්වල ධනාත්මක වර්ධනය. ධනාත්මක සංවර්ධනයට පරිසරවේදීන් හැටියට අපි විරුද්ධ නම් අපිට ගෙදරක ජීවත්වෙන්නත් බැහැ. අපි ගෝත්‍රික අය නොවෙයි. සමාජය තුළ තියෙන මිථ්‍යාවක් තමයි පරිසරවේදීන් සංවර්ධනයට විරුද්ධයි කියන එක. අපේ රටට ගැළපෙන සංවර්ධන උපායමාර්ගවලට යා යුතුයි. අපි කියන්නෙ පාරිසරික බලපෑම් අඩු හොඳම විකල්පය තෝරගන්න කියලයි.
සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව තනි තනි මිනිස් ක්‍රියාකාරකම් පවා පරිසර විනාශයන්ට හේතුවෙනවා. මේ ගැන ජනතාව අතරට යම් පණිවුඩයක් ගෙන යන්න ඔබ අසමත් වෙලා කිව්වොත්?
අපි විවිධ දැනුවත් කිරීම් කරනවා. ඒවා ග්‍රහණය කරගැනීම ජනතාව සතුයි. වැරදි ඉඩම් භාවිතය පහතරට තෙත් කලාපයෙත්, උප කඳුකර තෙත් කලාපයෙත් තේ වගාව හරහා වෙනවා. පහත රට තේ වගාව ව්‍යාප්ත කරන්න හදපු ඉඩම් තමයි වැඩි වශයෙන් නායයාමට ලක්වී ඇත්තේ. කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල දිස්ත්‍රික්කවල කටුපොල් ව්‍යාප්ත කරනවා. මේ සඳහා ද්විතීක තෙත් වනාන්තර, රබර් වගාව ඉවත් කරනවා. මේ නිසා ඇතිවන පාංශු ඛාදන තත්ත්ව නිසා තව විශාල අනතුරක් ඉදිරියේ ඇතිවිය හැකියි.
ජනතාව මෙය ග්‍රහණය කරගැනීමේ නොහැකියාවකින් පෙළෙනවාද, නැත්නම් ඔවුන් ඒ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැද්ද, මේ ගැන ඔබේ අදහස මොකක්ද?
විවෘත මනසක් තියෙන පුද්ගලයෙක්ට දැනුම දෙන්න පුළුවන්. බලහත්කාරයෙන් පුද්ගලයෙක් ගොඩනඟන්න බැහැ. සියලු කාරණා ආර්ථිකය සමඟ යටපත්වෙනවා. රටක ආර්ථිකය බිඳවැටෙන්න, බිඳවැටෙන්න, ජීවත්වෙන්න වැයකරන්න වෙන මුදල් ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න, අපේ දැනුම්වත් කිරීම් කියන සාධකය වැඩක් නැහැ.
ඔබ ඔය කියන්නෙ දැනට පරිසර සංවිධාන සිදුකරන ක්‍රියාකාරකම්වලට එහා ගිය වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන එකද?
රටක ප්‍රතිපත්තිමය ක්රියාවලීන්වල වෙනසක් අවශ්‍යයි. ගොඩක් වෙලාවට මාධ්‍ය හරහා දකින්න ලැබෙන්නෙ පරිසරවේදීන් ව්‍යාපෘතියකට විරුද්ධවෙන එක විතරයි. ඊට පරිබාහිරව විශාල ක්‍රියාවලියක අපි ඉන්නවා. වීරවිල ගුවන් තොටුපළට නඩු දැම්මා, ඒක නතර වුණා. කණ්ඩලම හෝටලයට අපි විරුද්ධ වුණා.
කණ්ඩලමට එදා විරුද්ධ වෙච්ච අයම අද ඒ හෝටලයේ උත්සවය ගන්නවා?
ඒක සාධනීය අවස්ථාවක්. වර්තමානයේ තියෙන කණ්ඩලම හෝටලය බිහිවෙන්නෙ අපේ බලපෑම් නිසයි. පරිසර හිතකාමී ලෙස කණ්ඩලම ඇතිවෙන්නෙ බලපෑම් නිසයි. පළමු අවස්ථාවේ සැලසුම් වුණේ කණ්ඩලම වැව් ඉහත්තැවේ හදන හුදු හෝටලයක් විතරයි. ඒකට ආපු දැඩි බලපෑම් නිසා, ඔවුන්ට සිද්ධ වුණා හෝටලය ඉතාම පරිසර හිතකාමී එකක් කරන්න. ඉතාම හොඳ ජල පිරිපහදු පද්ධතියක්, අප ජලය වැවට මුදා නොහැරීම, අවමව බලශක්තිය භාවිතා කරන තැනට හෝටලය ගෙනාවෙ. මේක තමයි අපේ භූමිකාව. ඒක මාධ්‍යයෙ පෙන්වන්නේ නැහැ. යුරෝපා රටවල් අද පරිසරයට වැඩි ඉඩක් දෙන්නෙ ඇයි. ඔවුන් පරිසර විනාශයේ ආදීනව හඳුනාගෙන ඇති නිසයි.
යුරෝපා රටවල් පරිසර සංරක්ෂණය කරනවා කිව්වත් පැරිස් දේශගුණික සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වෙනවා?
මේ පාරිසරික කාරණා තීරණය වෙන්නෙ ඔවුන්ගෙ දැනුම මතයි. ඇමරිකාවෙ ට්‍රම්ප්ට ප්රතිවිරෝධතාවක් ඇතිවෙමින් තිබෙනවා. ට්‍රම් ඒකාධිපතියෙක් වගේ පරිසර විනාශය ගැන තේරුම් ගන්න ඔහු සූදානම් නැහැ. මේ ප්රතිවිරෝධතා මතුවෙන්න නම් සමාජය දැනුවත් විය යුතුයි. අෙප් රටේ පරිසරය ගැන ප්රතිවිරෝධතා මතු නොවෙන්න දැනුවත් නැති නිසා. අපේ රටේ ප්රතිවිරෝධතා මතුවෙන්නෙ තමන්ට ඒක බලපානවා නම් විතරයි. උදාහරණයක් හැටියට අධිවේගී මාර්ගය තමන්ගෙ ගේ උඩින් යනව නම් විරුද්ධ වෙනවා. ඒක ගේ එහා පැත්තෙන් යනවා නම් විරුද්ධ නැහැ.
මේ ගංවතුරෙන් පස්සෙන් පොලිතීන්, ප්ලාස්ටික් වැනි ඝණ අපද්‍රව්‍ය වැඩි වශයෙන් පහත් බිම් කරා ගොඩගැසී තියෙනවා අපි දැක්කා. නමුත් පරිසර සංවිධානවලට තවම හැකියාවක් ලැබිල නැහැ නේද ජනතාව අතරට මේවා භාවිතයෙන් ඉවත්වෙන්න කියන පණිවුඩය ගෙන යන්න?
ලංකාවෙ කසළ කළමනාකරණය ගැන විවිධාකාර මැදිහත්වීම් අපි කළා. 2007 දී ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ගැන ප්‍රතිපත්තියක් හැදුවා. මේ දක්වා ඒක ක්‍රියාත්මක නැහැ. ඒකට වගකියන්න ඕන කවුද?
මේ වගකීම රජයට බාර නොදී පරිසරවේදීන් හා සංවිධාන ජනතාව දැනුවත් කිරීම හරහා ආකල්පමය වෙනසක් කළොත් නරකද?
ඒක හරියට මුහුද ලේන වලිගෙන් ඉස්ස වගේ වැඩක්. රාජ්‍ය යාන්ත්‍රණය තුළ ප්‍රතිපත්තිමය තීරණයකින් තොරව මේ දේවල් ක්‍රියාත්මක කරන්න බැහැ.
දුමින්ද සම්පත්