ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත ගෙන එන්නේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාවටයි’ – අධිකරණ ඇමැති

සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත ගෙන එන්නේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා බවත් මේ පනත පිළිබඳව ජනතාව නොමග යවන්න කටයුතු කරන්න එපා යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍ය, හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ රට තුළ පවතින වත්මන් තත්වය පිළිබඳව විපක්ෂය විසින් අද(20) පාර්ලිමේන්තුවට ගෙන එන ලද සභාව කල් තැබීමේ යෝජනාවට අදාල විවාදයේදී අදහස් පළ කරමිනි.

එහිදී අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා

“අද දිනයේදී සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ මුල්වර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. සාමාන්‍යයෙන් එහෙම ඉදිරිපත් කරද්දි එය දෙවැනි වර කියවීමේ විවාදයේදී තමයි අපි කරුණු දක්වන්නේ. නමුත් අද දින ඒ ගැන යම් කරුණක් දක්වන්න වෙනවා. මේ වන විට මුහුණු පොත පුරා, සමාජ මාධ්‍ය තුළ ඉතාම විකෘති අර්ථකථන දෙමින් යම් තොරතුරු පළ කරනවා. විශේෂයෙන් ඔවුන් කියන්නට යෙදෙනවා මේ අලුත් නීතිය යටතේ කොණ්ඩේ වවලා තිබුණොත්, පච්ච කොටලා තිබුණොත්, හිරේ යන්න පුළුවන් අපරාධමය වරදක් ඒක නිසා මේක ලොකු භයානකකමක් තියෙනවා කියලා. අපි ගේන අණපනත් විවේචනය වෙන එකට අපි කැමතියි. විවේචනය වෙන්න ඕන, එහෙමයි නීතියක් හැදෙන්නේ. ඒ වගේම අපි ගේන අණපනත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙනවට අපි කැමතියි. ඒක හොඳයි, මොකද ඒ අනුව තමයි නීතිය තවත් ශක්තිමත් වෙලා ජනතාවට සේවයක් වෙන නීතියක් වෙන්නේ. අපි සියලු දෙනා දන්නවා මේ රටේ සංවිධානාත්මක අපරාධ විශාල පිළිලයක් වෙලා තිබෙන්නේ. මත්ද්‍රව්‍ය, අයිස් ජාවාරම්, මිනීමැරුම්, පැහැරගෙන යෑම්, දේපළ හානි, පුද්ගල හානි කෙළවරක් නැහැ. එවන් රටක අපි දේශපාලනික සහ ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් ගත්තා මේ රටේ දූෂණය, වංචාව නවත්වනවා වගේම පාතාල ක්‍රියාකාරකම් මර්දනය කරන්න ඕන කියලා, අයිස් මර්දනය කරන්න ඕන කියලා. නමුත් අපේ තිබෙන නීතිරීති ප්‍රමාණවත් වුණේ නෑ. ඒ නිසා සංවිධානාත්මක, පාතාල කල්ලි විසින් කරන අපරාධ නැවැත්වීම සඳහා, එනම් ඒවා විමර්ශනය කිරීම, ඒවාට නඩු පැවරීම සහ දඬුවම් දීම සඳහා වූ අලුත් පනතක් අපි ගේනවා. මේ රටේ පාතාලය, අපරාධ කරන එක අපි නවත්වනවා කියලා ගරු ජනාධිපතිතුමාත් ප්‍රකාශ කළා. තිබෙන නීති මදි නම් අලුතෙන් නීති ගෙනත් හරි මේක නවත්වනවා කියලා අපි කීවුවා. ඒ අනුව ගෙනාව පනත ඉදිරිපත් කළා. අරමුණ පැහැදිලියි. 4(2) වගන්තිය. 4(1) වගන්තියේ කියනවා සංවිධානාත්මක අපරාධයක සාමාජිකයකු වී සිටීම. 4(2) වගන්තියේ කියනවා මොන යම් මොන යම් අවස්ථාවලද ඒ පුද්ගලයා පාතාල හෝ අපරාධ කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න සලකා බැලිය හැකි කරුණු මොනවාද කියලා මේ පනතේ තිබෙනවා. එහිදී කරුණු 12ක් සඳහන් වෙනවා. ඒ කරුණු 12න් එක කරුණක් තිබෙනවා, එහි 4(2) (ඇ) සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ ප්‍රකට සාමාජිකයන් භාවිතා කරන ඇඳුම්, විලාසිතා, හස්ත මුද්‍රා, භාෂාව හෝ පච්ච සටහන් ඒ තැනැත්තා විසින් පාවිච්චි කරන්නේද යන්න සදහන් කර තිබෙනවා.”

“මෙන්න මේකට තමයි විකෘති අර්ථකථනය ලබා දෙන්නේ. මෙතන විකෘති අර්ථකථනය ලබා දෙන්න එහි අය කරන මූලික දෙයක් තමයි, ‘සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ ප්‍රකට සාමාජිකයන් යන එක වචනයක් හිතාමතා පාවිච්චි කරන්නේ නෑ. මතක තියාගන්න මේක තනි තනි පුද්ගලයන්ට නෙමෙයි, සංවිධානයක් එක්ක වැඩ කරන සාමාජිකයන්ට තමයි මේ පනත ගෙනත් තිබෙන්නේ. අපි දන්නවා අපේ රටේ සුලබ නොවුණට ජපානය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුවෙ පවා යම් සංවිධාන ඉන්නවා. අපරාධ කල්ලි යම් අවස්ථාවලදී යම් හස්ත මුද්‍රා, ඒ කියන්නේ යම් අවස්ථාවල තමන් ඒ ගෲප් එකට අයිතියි කියලා පෙන්නන ටැටූ එකක්, එහෙමත් නැතිනම් තත්ත්වය පිළිබිඹු කරන්න ඒවා පාවිච්චි කරනවා. මේ ටැටුස් සහ ඇඳුම් පැළඳුම් යමෙක් අපරාධ කල්ලියක සාමාජිකයෙක්ද යන්න බලන්න අන්තර්ජාතිකව විමර්ශකයෝ පාවිච්චි කරනවා. මේ පනත් කෙටුම්පතේ කොතනකවත් කොණ්ඩයක් ගැන නැහැ. ඒක කෙහොම ආවද කියන්න මා දන්නේ නැහැ. මේ පනතින් අර්ථවත් කරන්නේ එහෙම දෙයක් විනා වෙනත් කාරණාවක් නොවෙයි. ඉතින් ඒක නොදැනගෙන නෙමෙයි මේ තොරතුරු ප්‍රචාරය කරන අය ප්‍රචාරය කරන්නේ. මොකද සමහර අය නීතිඥවරු. ඔවුන්ට මේක කියවන්න බැරි අඩුපාඩුවක් නැහැ. අපේ රටේ ඒක සුලබ නෑ, ‘එහෙනම් ඇයි ඒ නීතියෙ ගේන්නේ කියලා, නමුත් එහෙනම් සමහර අයට අහන්න පුළුවන්. ඉදිරි අනාගතය ගැන පුරෝකථනය කරලා එය ගෙනවිත් තිබෙනවා, ඒ ආකාරයේ පාතාල සංවිධාන තියෙනවා නම් එයත් අපිට සලකා බැලිය හැකි එක් කාරණාවක් වෙනවා. නීතියෙන් කියන්නේ එයයි. සිංගප්පූරුවේ ඇති සංවිධානාත්මක අපරාධ පනතින් අපි මේ කොටස ලබා ගෙන තිබෙනවා. අන්තර්ජාතිකව පිළිගත් නිර්වචනයක් තමයි අපි මෙතන යොදවා තිබෙනවා. ඒ නිසා මේ ජනතාවට ඇතිකරන භීතිය—මොකක්ද? කොණ්ඩෙ වැවුවොත් අල්ලන් යනවා අපරාධයක්, පච්චයක් කෙටුවොත් අපරාධයක්, ඇඳුමක් ඇන්දොත් අල්ලා යන්න පුළුවන්, පොලිසියට පුළුවන් ඕන කෙනෙක් අරන් ගිහිල්ලා දවස් ගණන් අත්අඩංගුවේ තියන්න සම්පූර්ණ අසත්‍ය, නොමඟ යවන සුළු එකක් බව කියන්න ඕන. සමාජ මාධ්‍ය හරහා යම් දේශපාලන පක්ෂත් දැන් එය ප්‍රකාශ කරනු ලබන ආකාරය පෙන්නුම් කරනවා. තමන් කැමති ඇඳුමක් අඳින එක, තමන් පච්චයක් කොටන එක, තමන්ට අවශ්‍ය කොණ්ඩ මෝස්තරයක් තියාගන්න එක තමන්ගේ මූලික අයිතිවාසිකමක් හා තමුන්ට ඒ අයිතිවාසිකම තියෙනවා.මේ වගේ ප්‍රකාශ කරනවාට වඩා හොඳයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මෙය වැරදි නම්, ව්‍යවස්ථා විරෝධී නම්, කරුණාකරලා ඒකට අභියෝගයක් කරන්න. විවේචන අපි බාරගන්න සූදානම්. මේ පනත පිළිබඳවත් අපි හොඳ විවාදයක් කරමු. මෙය දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න මිනිස්සු කලබල කිරීමක් බව කිව යුතුයි. සතිපතා මොකක් හරි අසත්‍යයක කෑල්ලක් ගේනවා. අද මේ විපක්ෂය මෙතන කතා කරන ඒවත් මිනිස්සු පිළි නොගන්නේ මේ හේතුව නිසයි. අපි දේශපාලනය කරමු, සාකච්ඡාව ගෙනියමු, නමුත් මේ පනතට විරුද්ධ වෙන්න කිසි කෙනෙක්ට උවමනාවක් තියෙන්න බෑ. මේ පනතට විරුද්ධ වෙන්න අවශ්‍යතාවය තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන් පාතාල කල්ලිවලට සම්බන්ධ සාමාජිකයන්ට ඒ විරෝධතාව එන්න පුළුවන්. පාතාලයත් එක්ක ගනුදෙනු කරන දේශපාලඥයන්ට අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් මෙම පනත අපි ගේන්නේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුයි. සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලීන් නැවැත්වීමේ කාරණාව උදෙසායි. මේ සදහන් කර තිබෙන්නේ. ‘සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ ප්‍රකට සාමාජිකයන් භාවිතා කරන ඕනෑම ටැටූ එකක්, ඕනෑම හැන්ඩ් සිග්නල් එකක් ගැනයි. ඒක අපේ රටේ සුලබ තත්ත්වයක් නෙමෙයි. එහෙම දෙයක් අපේ රටේ මේ දක්වා හඳුනාගෙන තියෙනවා කියලා විශ්වාස කරන්නේ නෑ. නමුත් ඉදිරියේදී අවශ්‍ය වුණොත් තමයි ඒක තිබෙනවා. ඒ නිසා ඔබ පුද්ගලිකව ගහන පච්චය, ඔබ පුද්ගලිකව වවන කොණ්ඩේ, ඒ කිසිවක් මේකට අදාළ වෙන්නෙත් නෑ. කොණ්ඩේ කියන වචනේ මෙහි නැහැ. දැන්වත් ජනතාව නොමඟ යැවීම නතර කර තමන්ගේ විද්වත්භාවය, තමන්ගේ දැනුම රටේ ජනතාවගේ යහපතට පාවිච්චි කරන්නැයි මම ඉල්ලා සිටිනවා.”