සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව නැවත ස්ථාපිත කරමින් නව පත්වීම් ප්රදානය කෙරේ
1949 අංක 47 දරන පාර්ලිමේන්තු පනතින් පිහිටුවන ලද සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් දීර්ඝ කාලයක සිට සෘජු දායකත්වයක් ලබා දුන් පැරණිතම රාජ්ය සංස්ථාවයි. විදේශීය සෘජු ආනයන, දේශීය ගොවි නිෂ්පාදන මිලදී ගැනීම් සහ දිවයින පුරා පැතිරුණු බෙදාහැරීමේ ජාලය හරහා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ජනතාවගේ දෛනික ආහාර අවශ්යතා සපයන ලදී. කෙසේ වෙතත්, අනිසි කළමනාකරණය, වංචා දූෂණ සහ අක්රමිකතා හේතුවෙන් අක්රිය වූ මෙම ආයතනය, 2023 වසරේදී සේවකයින් ද ගෙදර යවා ඈවර කිරීමට පසුගිය රජය කටයුතු කර තිබුණි.
නමුත්, නව රජය බලයට පත්වීමෙන් අනතුරුව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ පූර්ණ මැදිහත්වීම මත මෙරට ජනතාවට සාධාරණ මිලකට ආහාර ද්රව්ය ලබා දීමේ රාජ්ය මැදිහත්වීම තහවුරු කිරීම සඳහා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව නැවත ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල තීරණයක් ලබා ගන්නා ලදී. ඒ අනුව, වසා දමා තිබූ මෙම ආයතනයේ වත්කම් හඳුනාගෙන, සෘජු ආනයන සහ ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගනිමින් රට පුරා සාධාරණ ලෙස බෙදා හැරීමේ නව යාන්ත්රණයක් සකස් කිරීමට කටයුතු කරන ලදි.
තවද, පසුගිය රජය විසින් අනිවාර්ය නිවාඩු යැවීමෙන් වසා දමා තිබූ සංස්ථාවේ සේවක සුබසාධන සමිතියට හිඟව තිබූ කෝටි තුනක මුදල අමාත්යවරයාගේ උපදෙස් පරිදි ගෙවා අවසන් කර, සේවකයන්ගේ තැන්පතු මුදල්ද සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට ද කටයුතු කළේය.
එලෙස ආයතනයේ සේවක ගැටලු නිරාකරණය කිරීමෙන් අනතුරුව, ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව, විනිවිදභාවයෙන් යුතුව සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුස්සන් තෝරා ගැනීම සිදු විය.
ඒ අනුව, ප්රධාන විධායක නිලධාරී තනතුර මෙන්ම ජ්යෙෂ්ඨ නිලධාරී තනතුරු සඳහා තේරී පත් වූ නව නිලධාරීන්ට පත්වීම් ප්රදානය ඊයේ (19) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන්, නියෝජ්ය අමාත්ය ආර්. එම්. ජයවර්ධන මහතා, නියෝජ්ය අමාත්ය උපාලි සමරසිංහ මහතා, වෙළෙඳ අමාත්යාංශ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා ඇතුළු අමාත්යාංශ නිලධාරීන් මෙන්ම සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා ඇතුළු එහි නිලධාරීන්ගේ හා සේවක පිරිසකගේ සහභාගිත්වයෙන් වෙළෙඳ අමාත්යාංශයේදී සිදුකෙරිණි.