ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කෙරේ

මාධ්‍ය සාකච්ඡාවකදී මුස්ලිම් සහ සිංහල ජනයා අතර අසමගියක් ඇතිවන අන්දමින් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබූ මාස 09ක ලිහිල් වැඩ සහිත සිර දඬුවම සහ රුපියල් 1,500ක දඩය මහාධිකරණය මගින් ස්ථීර කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (07) විවෘත අධිකරණයේදී දැනුම් දුන්නේය.

මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇති අතර, පහළ අධිකරණ තීන්දුවට මැදිහත් වීමට අවශ්‍යතාවයක් නොමැති බව මහාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බවත්, එය ලබන පෙබරවාරි 23 වනදා කරුණු සලකා බැලීමට නියමිත බවත් ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, නඩුව නැවත පෙබරවාරි 25 වනදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එදිනට උන්වහන්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.