ගමකට උණ ගැණෙන විදුලි බිල්! ඇතැම් නිවෙස්වලට ලක්ෂ 2ක බිලක්!
එකවර අධික විදුලි බිලක් ලැබීම හේතුවෙන් දැඩි පීඩාවට පත් වූ ගම්වාසීන් පිරිසක් පිළිබඳ පුවතක් අනුරාධපුර – මීගස්සංගම ප්රදේශයෙන් වාර්තා වනවා.
ඔවුන් පැවසුවේ, කිසි දිනෙක තමන්ට නොලැබුණු රුපියල් ලක්ෂ දෙකක් වැනි අධික විදුලි බිලක් මෙලෙස ලැබී ඇති බවයි.
අනුරාධපුර – එප්පාවල, මීගස්පෑගම සහ කිරලෝගම යන ගම්මාන දෙකෙහි පවුල් 500ක් පමණ ජීවත් වන අතර ඉන් පවුල් 300කට පමණ එකවර විදුලි බිලෙහි මෙලෙස විශාල වැඩි වීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පෙර මාසවලදී රුපියල් හාරදහසත්, පන්දහසත් අතර අගයක පැවතුණු විදුලි බිල්පත් මෙවර රුපියල් එක් ලක්ෂ පනස්දහසත් ලක්ෂ දෙකත් අතර මුදලක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් කැකිරාව විදුලි ඉංජිනේරු කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු එහි නිලධාරීන් පවසා ඇත්තේ, වසර තුනක සිට එම ප්රදේශය භාරව කටයුතු කළ මනු කියවන්නාගෙන් සිදුවූ වරදක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් මතුව ඇති බවයි.
පසුව එම විදුලි බිල්පත් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසන බව එම නිලධාරීන් ගම්වැසියන්ට පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ප්රදේශවාසීන් පවසන්නේ, අදාළ මනු කියවන්නා නිසි පරිදි පරිදි මනු කියවීමට නොපැමිණෙන බවට කැකිරාව විදුලි ඉංජිනේරු කාර්යාලයට අවස්ථා කිහිපයකදී මීට පෙර දැනුවත් කළත්, ඔවුන් ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බවයි.