ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘ජනක ඉවත් කරන විවාදයට පැමිණීම අනිවාර්ය යි’: ආණ්ඩුවේ මන්ත්‍රීන්ට ලියුමක්

එළඹෙන 24 වන දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන් සහභාගි විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග එම මන්ත්‍රීන්ට දැනුම් දී ඇත.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ලිඛිතව මේ බව දැනුම් දෙනු ලැබීමට කටයුතු කර ඇති අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකව එම තනතුරින් ඉවත් කිරීම පිළිබඳව විවාදය එදින (මැයි 24) පැවැත්වීමට නියමිත ය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම එදිනට පැවැත්වීමට නියමිත නිසා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් උපරිම ලෙස සහභාගි කරවීම වෙනුවෙන් මෙම දැනුම් දීම කර ඇති බව ද වාර්තා වේ.

මෙම කාලසීමාව තුළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට විදෙස්ගත වීම ද තහනම් කර ඇති අතර එළැඹෙන 24 වන දා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි නොවන මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට ද ක්‍රියා කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය සඳහන් කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මෙම යෝජනාවට විපක්ෂව ඡන්දය දෙන බවට ද තොරතුරු වාර්තා වී ඇති නිසා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ඇත.

  • අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය