“අමානුෂික සැලකිල්ල” නිසා ජපානයේදී මිය ගිය විශ්මාගේ අවසන් දින කිහිපයේ CCTV දර්ශන මෙන්න… සී.සී.ටී.වී දර්ශන මාධ්‍යයට මුදා හැර ඇත්තේ සංස්කරණය කරලා… ජපන් අධිකරණ ඇමති කියයි
මීට වසර දෙකකට පෙර ජපානයේ නගෝයා නගරයේ පිහිටි සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යාස්ථානයකදී මිය ගිය ශ්‍රී ලාංකික තරුණියගේ මරණය සම්බන්ධයෙන් යළිත් රට තුළ දැඩි කතා බහක් ඇති වී තිබේ.
ඒ, රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නමැති අදාළ තරුණිය රඳවා තබා සිටි කාමරයේ සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත නිකුත් වීමත් සමග ය.
ඇයගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටින නීතඥවරුන් විසින් අදාළ දර්ශන මාධ්‍ය වෙත ප්‍රථම වරට නිකුත් කරනු ලැබ ඇත.
ටෝකියෝහි පැවති මාධ්‍ය හමුවකදී බ්‍රහස්පතින්දා (අප්‍රේල් 6) නිකුත් කළ එම දර්ශනවල ඇයගේ මරණය සිදු වූ 2021 වසරේ මාර්තු 6 වන දා දක්වා දින කිහිපයක දර්ශන ඇතුළත් වී ඇති අතර ඒවායේ අදාළ රැඳවුම් මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇය හා කටයුතු කරන අයුරු සටහන් වී තිබේ.
තමන්ට ආහාර ගත නොහැකි බව ත් තමන්ව රෝහල්ගත කරන ලෙස ත් ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අයුරු එම දර්ශනවල දැක්වේ.
විශ්මා වේදනාවෙන් කෙඳිරිගාමින් සිටියදී නිලධාරියෙකු සහ හෙදියක සතුටු සිතින් කතාබස් කරන අයුරු ද එම දර්ශනවල ඇතුළත් වේ.
ඇය මිය ගිය දින, බලධාරිනියක පැමිණ ඇය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඇය අවදි කිරීමට උත්සහ දරන ආකාරය ද එහි සටහන් වී ඇත.
මිය යන විට ඇය 33 වන විය පසු වූවා ය.
මේ වන විට විශ්මාගේ පවුලේ සාමාජිකයින් ඇයගේ මරණය සම්බන්ධයෙන් ජපන් රජයෙන් වන්දි ඉල්ලා නගෝයා අධිකරණයේ නඩු පවරා ඇත්තේ, ඇය නීතිවිරෝධී ලෙස රඳවා තබා ගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම නිසා මිය ගිය බව පවසමිනි.
ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායක ලියනගේ විශ්මා සඳමාලි තරුණිය 2017 වසරේදී ශිෂ්‍ය වීසා මත ජපානයට ගොස් තිබුණු අතර වීසා කල් ඉකුත් වී තිබියදීත් එරට තුළ රැඳී සිටීම හේතුවෙන් 2020 වසරේ අගෝස්තු මස ඇය එරට ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන මෙලෙස රඳවා තබා ගෙන තිබිණි.
ඒ අනුව, ඇය මිය යන දිනය දක්වා මාස 7ක පමණ කාලයක් අදාළ මධ්‍යස්ථානයේ රඳවා තබා තිබිණි.
එවකට ජපන් මාධ්‍ය වාර්තා කර තිබුණේ, නගෝයා නගරයේ ඇති ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක රඳවා සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් 2021 වසරේ මාර්තු 6 වන සෙනසුරාදා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්වූ බව ය.
මේ අතර ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොමැතිව මියගිය විශ්මා සඳමාලි තරුණියගේ මරණයට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ සංස්කරණය කිරීමෙන් පසු හා අවසරයකින් තොරව බව ජපාන අධිකරණ අමාත්‍ය කෙන් සයිතෝ පවසයි.
එරට කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.
මෙම දර්ශන මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමග ඊයේ පස්වරුවේ ජපානයේ කැබිනට් හමුවෙන් අනතුරුව ජපාන අධිකරණ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය විමසීමක් කර තිබුණි.
ජපාන අධිකරණ අමාත්‍ය කෙන් සයිතෝ මහතා,
“මෙම වීඩියෝ දර්ශන රජය විසින් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ දර්ශනයි. මෙම විඩීයෝ දර්ශන පැය 5ක පමණ කාලයක් වන අතර එම දර්ශන අධිකරණයේ විභාග කිරීමට නියමිතයි. මෙම වීඩියෝ දර්ශනවලින් කොටසක් පැමිණිලිකරු විසින් අනවසරයෙන් සංස්කරණය කර ඇති අතර එම දර්ශන ජනමාධ්‍ය වෙත ලබාදී මහජනතාවට මුදාහැර තිබෙනවා.”
අවවාදයයි: සංවේදී දර්ශන සහිතයි