ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රුපියල් කෝටි 597.8ක අලාභයක් සිදුකරමින් ‘ගෝඨාභය ලංකාවට අහිමි කළ’ ජපාන දුම්රිය ව්‍යාපෘතිය බංග්ලාදේශයට

බංග්ලාදේශය එරට ප්‍රථම මෙට්‍රෝ (කෙටි දුර නගරාන්තර දුම්රිය) දුම්රිය පද්ධතිය අද (දෙසැ. 29) ඩකා නගරයේ ආරම්භ කර තිබේ. මිලියන 20කට වඩා වැඩි ජනතාවක් ජීවත් වන ලෝකයේ වඩාත් ම ජනාකීර්ණ නගරවලින් එකක් වන ඩකා නගරයේ ඇති දැඩි රථවාහන තදබදයට මෙමගින් සහනයක් ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එය අමෙරිකානු ඩොලර් බිලියන 2.8ක වියදමින් ඉදි කර ඇත්තේ, ජපන් රජයේ ආධාර යටතේ ය.

පොළොවට ඉහළින් දිවෙන මෙම දුම්රිය පද්ධතිය ගොඩනැගීම සඳහා වසර 6ක කාලයක් ගත වී ඇති අතර එහි ගමන් ගන්නා දුම්රිය, උත්තර නගරයේ සිට අගර්ගෝන් නගරය දක්වා කි.මී. 12ක් කිසිදු දුම්රිය ස්ථානයක නතර නොකර ධාවනය වනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම නව දුම්රිය පද්ධතිය හරහා පැයකට මගීන් 60,000ක් පමණ ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසෙන බව ය.

එය 2030 වසර වන විට දුම්රිය ස්ථාන 100කට වඩා වැඩි සංඛ්‍යාවක් සහ ඩකා නගරය හරහා ගමන් කරන මාර්ග 6ක් දක්වා සංවර්ධනය කිරීමට නියමිත ය.

මෙම දුම්රිය පද්ධතිය විවෘත කළ අවස්ථාවට එක්වූ එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ප්‍රකාශ කළේ, එය එරටට ආඩම්බරයක් බව ත් සෑම දුම්රියක ම එක් මැදිරියක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන බව ත් ය.

කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපන් රජයේ ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ද ඉදිකිරීමට සූදානම්ව තිබියදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ කාලයේ එය නවතා දැමීම හේතුවෙන් රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බවට විගණකාධිපතිවරයා සිය වාර්තාවක් මගින් හෙළි කර තිබිණි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවලදී එකඟතාව ලද විගස කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කළ හැකි යැයි ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනට පසුගිය දා දැනුම් දී තිබිණි.