විගණකාධිපතිගෙන් තවත් ඇග කිලිපොලා යන අනාවරණයක්..! හම්බන්තොට වරායට සහ නොරොච්චෝලේ බලාගාරයට රජය ලබාගත් මිලියන දෙලක්ෂ අසූනවදහසකට වැඩි විදේශ ණය රජයේ මූල්‍ය ප්‍රකාශනවලිිින් අතුරුදහන් වෙයි..!
හම්බන්තොට වරාය සහ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම සඳහා රජය ලබාගත් රුපියල් මිලියන දෙලක්ෂ අසූනවදහසකට වැඩි විදේශ ණය පිළිබඳව රජයේ මූල්‍ය ප්‍රකාශනවල සටහන්ව නැතැයි අනාවරණ වී තිබේ. ඒ, 2018 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ රාජ්‍ය ණය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා අවසන් වරට නිකුත් කළ විශේෂ වාර්තාවෙනි.
විශේෂයෙන්ම හම්බන්තොට වරායේ විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2018, 2019, 2020 හා 2021 වසරවල මූල්‍ය ප්‍රකාශනවලින්ද ඉවත් කර තිබූ බව එහි දැක්වෙයි.
2018 වසරේ සිට 2022 වසර දක්වා අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පාලනය පිළිබඳව විගණකාධිපතිවරයා විශේෂ විගණන වාර්තාවක් සකස් කර තිබේ.
2018 දෙසැම්බර් 31 වන දින වනවිට මෙරට සමස්ත දේශීය හා විදේශීය ණය රුපියල් බිලියන 12,030.5ක් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 67.92ක් වූ අතර 2021 දෙසැම්බර් 31 වනවිට සමස්ත ණය බර රුපියල් බිලියන 17,589.3ක් එනම් ඩොලර් බිලියන 87.75ක් දක්වා ඉහළ ගොස් ඇති බව එහි සඳහන්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2019 වසරේ නොවැම්බර් මස නිකුත් කරන ලද සමාලෝචන වාර්තාව අනුව 2020 වසරේ බදු පදනම පුළුල් කිරීම හා අනුකූලතාවය වැඩි කිරීම මගින් ආදායම් එකතු කළ හැකි බව දක්වා තිබුණත් 2019 වසර අවසානයේ සිදුකළ බදු සංශෝධනය කිරීම් එම සමාලෝචන වාර්තාවේ නිර්දේශවලට පරස්පර බව එහි දැක්වේ.
2019 වසර අවසාන භාගයේ හඳුන්වා දුන් බදුසහන පැකේජය විචක්ෂණශීලි තීරණයක්ද යන්නත්, එමගින් ආර්ථිකයට ඇති වූ අහිතකර බලපෑම නැවත සමාලෝචනය කර සුදුසු පියවර නිර්දේශ කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමටත් විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.
අදාළ බදු සහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් 2019 වසරේ රුපියල් බිලියන 1025ක්ව පැවති මෙරට සත්‍ය බදු ආදායම 2020 වසරේ රුපියල් බිලියන 502කිනුත්, 2021 වසරේ රුපියල් බිලියන 402කිනුත් අඩුව ඇතැයි එහි සඳහන්ය.
ඉදිරි වර්ෂවලදී බදු සහන ලබාදීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් දේශීය හෝ ජාත්‍යන්තර ආයතන ලබාදී ඇති නිර්දේශ පිළිබඳව අවධානය යොමු කරමින් විධිමත් විශ්ලේෂණයක් මත පමණක් එය සිදුකළ යුතු බවටද එමගින් නිර්දේශිතයි.
2021 දෙසැම්බර් 31 වන දින වනවිට රජයේ මූල්‍ය ප්‍රකාශනවල සටහන් නොවූ විදේශ ණය පිළිබඳවත් එහි දැක්වුණි. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අදියර 1 හා 2 මෙන්ම හම්බන්තොට වරායේ අදියර 1 හා 2 සඳහා ලබාගත් රුපියල් මිලියන 289,357කට වැඩි විදේශ ණය රජයේ මූල්‍ය ප්‍රකාශනවල සටහන්ව තිබී නොමැත.
හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ණයවලින් තවදුරටත් ගෙවිය යුතුව ඇති වටිනාකම් රජයේ සමස්ත නොපියවූ ණයවල සටහන්ව නොතිබූ අතර එම ණය ශේෂයන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2018,2019,2020 හා 2021 වසරවල මූල්‍ය ප්‍රකාශනවලින්ද ඉවත් කර තිබූ බව දැක්වේ.
ඕනෑම අවස්ථාවක රාජ්‍ය ණය තත්ත්වය පිළිබඳ විස්තරාත්මක වාර්තා ලබාගත හැකි වන ආකාරයට අවශ්‍ය දත්ත එක් ස්ථානයක පවත්වාගෙන නොයන අතර මහා භාණ්ඩාගාරයේ, ශ්‍රී ලංකා මහබැංකුවේ හා ඇතැම් රාජ්‍ය ව්‍යවසායන්වලත් එ පිළිබඳ වාර්තා පවතින බවක් නිරීක්ෂණය වී නැතැයි විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.