අයියා වෙනුවෙන් පන්සලට දානය අරන් ගිය නැගණිය වන අලි පහරින් මරුට (වීඩියෝ)
පවුලේ වැඩිමහල් දරුවා රෝගාතුරව මිය ගොස් දින 14ක් පිරීමටත් මත්තෙන් පවුලේ එක ම ගැහැණු දරුවා ද වන අලි ප්‍රහාරයකින් මිය යාමේ සෝචනීය පුවතක් හසලක යාය පහ ප්‍රදේශයෙන් ඊයේ (අගෝ. 28) වාර්තා වී ඇත. වන අලි ප්‍රහාරයෙන් මෙසේ මියගොස් ඇත්තේ, දාහත් හැවිරිදි අනුත්තරා ඉඳුනිල් නමැති දැරියකි.
හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණු තම එක ම සහෝදරයාගේ දානය පන්සලට රැගෙන යන අතරතුර ඇය මේ වන අලි ප්‍රහාරයට ලක් වී තිබේ.
ප්‍රහාරයෙන් පසුව දැරිය රෝහල්ගත කිරීමට ගම්මුන් කටයුතු කළත් ඒ වන විට ත් ඇය මියගොස් සිටි බව හසලක රෝහල් ආරංචි මාර්ග පැවසීය.
දැරියගේ මරණය ගැන අදහස් දැක්වූ ඇයගේ ඥාති සොයුරියක මාධ්‍යයට මෙසේ පැවසීය.
“මල්ලි නැතිවෙලා දවස් 14යි. ඊයේ (අගෝ. 27) රෑ හයේ ඉඳලාම අලි ඇවිත්. එළිවෙනතුරු අලි වෙඩි දාලත් ගියේ නෑ. අපට නින්දක් නෑ. ගේ ඉස්සරහදී ම අලියා නංගිට ගැහුවා කියලා නැන්දා කෑ ගැහුවා. ඒත් අපට එළියට එන්නවත් විදිහක් නෑ. මොකද අලියා පන්නනවා. මිනිසුන්ට පුළුවන් අෑත තියලා කෑ ගහන්න විතරයි.”
දැරියට අලියා පහර දී තිබුණේ ඇයගේ මව ඉදිරිපිටදී ම යැයි ද ගම්මු පවසති.
මේ නිසා දැරියගේ සොවින් ඇය දැඩි කම්පනයට පත්ව සිටින්නී ය.
අකල්හි සිදු වූ මේ මරණයට වනජීවී නිලධාරීන් ඇතුළු සියලු ම බලධාරීන් වගකිව යුතු බවට ගම්මු චෝදනා කරති.