“මන්ත්‍රීවරු 134කගෙ ඡන්දයෙන් රනිල් ජනපති කලේ රැවුල්, කොණ්ඩ වවාගත් ගෝල්ෆේස් අරගලකරුවන්” – විමල්
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තේරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 134 දෙනෙකු රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දීමට ප්‍රධාන හේතුව අරගලය විසින් මන්ත්‍රීවරුන් තුළ ඇති කරන ලද අනාරක්ෂිත මනස බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. ඔහු ප්‍රකාශ කළේ, “දේශපාලන න්‍යායක්, අනාගත දැක්මක්, විචාරශිලී කියවීමක් කිසිවක් නොමැතිව” එම පිරිස අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් කරගත් බව ය.
ඊයේ (ජූලි 21) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“අපිට ආරක්ෂාවක් නැහැ, ඒගොල්ලෝ හිතන්නේ එහෙම. ගෙවල් ගිනි තිබ්බා. ගමට යන්න බැහැ. එනවා ප්‍රචණ්ඩකාරී ලෙස පහර දෙන්න. ඔක්කොට ම කලින් මේ තත්ත්වය ඉවර කරන්න ඕන. මේක තමයි මන්ත්‍රීවරුන් 134 රනිල් වික්‍රමසිංහ මහත්තයට ඡන්ද දෙන්න බලපාපු ප්‍රධානතම හේතුව. ඒ මනස ඇති කළේ කවුද? අරගලය.
ඒ ගොල්ලො හිතනවා ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව ගිය වෙලාවේ පාර්ලිමේන්තුව වට කරන්න. පාර්ලිමේන්තුව තව ත් ජනාධිපති ලේකම් කාර්යාලය බවට පත් කර ගන්න තව ත් අරලිය ගහ මන්දිරයක් බව ට පත් කර ගන්න උත්සහ කරපු වෙලාවේ ඒකට ඉඩ නොදී හදිසි නීතිය ඇඳිරි නීතිය දාලා ආරක්ෂක අංශවලට නියෝග නිකුත් කරලා හොඳට ගැහුවේ රනිල් කියලා ඒගොල්ලෝ හිතනවා. එහෙම රනිල් කෙනෙක් ඕන කියලා ඒගොල්ලෝ හිතනවා. දේශපාලන න්‍යායක්, අනාගත දැක්මක්, විචාරශිලී කියවීමක් මොනවත් නැතුව කනේ කරාබු දාගත්තු රැවුල් කාරයෝ අරෙහෙ මෙහේ ලිබියාවේ මොක්කු ද වගේ කට්ටිය දාගෙන හෙන වීරයෝ වෙලා සුන්දර කතා කියලා ඔක්කොම ෆෝම් කරලා අන්තිමට ගෙනාවේ රනිල්.“
මසකින් හෝ දෙකකින් නැවතත් එය කරලියට පැමිණෙන බව ත් එහිදී බටහිර රටවල් බලාපොරොත්තුවෙන් සිටින ලේ විල නිර්මාණය වන බව ත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.
එහිදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව මැදිහත් වන අතර එසේ නොවනහොත් ඉන්දියානු හමුදාව මැදහත් වනු ඇති බව කියා සිටි විමල් වීරවංශ මහතා වැඩිදුරට ත් සඳහන් කළේ, සර්ව පාක්ෂික ආණ්ඩුව හෝ අන්තර් කාලීන ආණ්ඩුව යෝජනා කළේ එය වළක්වාලීම සඳහා බව ය.
“නමුත් ඒක ජයග්‍රහණය කිරීමට බැරි වෙනවා. අවසානයේ අපි ඉන්නේ ඉතා භයානක නුදුරු අනාගත වියවුලක පාමුල.”