ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

”ගෑස් ප්‍රශ්නය නිර්මාණය කළේ ආණ්ඩුව” – අනුර කුමාර දිසානායක

ගෑස් පිපිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් විධිමත් හා විද්‍යාත්මක පියවරක් නොගැනීම බරපතළ කරුණක් බව ත් මිනිස් ජීවිත ගැන අබමල්රේණුවක වටිනාකමක් ආණ්ඩුවට නොමැති වීම ඛේදනීය තත්ත්වයක් බව ත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය. 

ගෑස් ආශ්‍රිතව අපේ රටේ ඇතිවී තිබෙන ගැටලු කිසිවක් ස්වාභාවිකව ඇතිවූ දේවල් නොවන බව ත් මේ සියල්ල පාලකයන් විසින් නිර්මාණය කරන ලද ගැටලු බවත් දිසානායක මහතා චෝදනා කරයි.

ගෑස්වල සංයුතිය වෙනස් කිරීම, සිලින්ඩරයේ බර අඩු කිරීම, මිල වෙනස් කිරීම යන ප්‍රෝඩාවන්ට ආණ්ඩුව ඉඩදුන් අතර සහල් මිල වැඩිවීමේදී “සහල් මාෆියාව” කියා කෑ ගැසූ නමුත් ආණ්ඩුව සතුව තිබෙන ප්‍රධාන ම ගෑස් සමාගම කරන ලද ප්‍රෝඩාවන් සියල්ල ආණ්ඩුවේ අනුදැනුම සහ මෙහෙයවීම මත සිදුවූ දේවල් බව ඔහු පවසයි.

ගෑස්වල රසායනික අනුපාතයන් වෙනස් කිරීමෙන් පුරවැසියන් අමාරුවේ දැමීම සිදුකර තිබෙන අතර විවිධ අය විවිධ හේතුන් ඉදිරිපත් කරමින් කල් මරන බව ද දිසානායක මහතා කියයි. 

ආණ්ඩුවේ වගකීම ජනතාවට නිසි පිළිතුරක් ලබාදීම බව පවසන ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, ජනතාව මෙතරම් අනතුරකට පත්වී තිබියදී පාලකයන් කිසිදු සැලකිල්ලක් නැතිව සිටින බව මෙම  සිදුවීම පවා පෙන්නුම් කරන බවයි. මේ රටේ පුරවැසියන්ගේ ජීවිත සහ ආරක්ෂාව පිළිබඳව අබමල් රේණුවක තරම්වත් හැඟීමක් පාලකයන්ට නොමැතිවා සේ ම මේ තත්ත්වය ඇතිවුණේ කෙසේ ද කියා නිසි පරීක්ෂණ පවත්වා හෝ පිළියම් යොදන ලෙස බලකර සිටින බව ය.