ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගහලා එලෙව්වත් ගුටි කාලා හරි කාබනික පොහොර හදුන්වා දෙන්න ඕනේ – ජනපති

කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බවත් ගහලා එලෙව්වත් ගුටි කාලා හරි කාබනික පොහොර හදුන්වාදියයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩි ස්ථාවර වී තිබෙන අතර එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට ලක් වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම රජය හදිසියේ ගත් තීරණයක් නොවේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන්ම පසුගිය අය වැයේදී මේ පිළිබඳ රජයේ ස්ථාවරය ඉදිරිපත් කෙරිණ . එහෙත් කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් නොකිරීම අනිසි බියට හේතු වී තිබේ.

දශක කිහිපයක සිට රසායනික පොහොර භාවිතයට ගොවියා පෙළඹීම හේතුවෙන් විශාල පිරිසක් විවිධ බෝ නොවන රෝගවලට මුහුණ පෑහ. එම තත්ත්වයෙන් අනාගත පරපුර ගලවා ගැනීම රටවැසි සියලු දෙනාගේ වගකීම විය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.