ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සදහටම වසාදමයි – ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම්ද අත්හිටුවයි
ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිර ලෙසම අවලංගු කිරීමට ට්විටර් සමාගම තීරණය කර තිබේ. ඒ, ඔහු විසින් ගිනිපිඹිනු ලැබූ කැපිටල් හිල් ප්‍රචණ්ඩත්වයේ බියකරු බව මුළු ලෝකයම හමුවේ අනාවරණය වීමෙන් පසුව ය.
2017 වසරේ පදවිප්‍රාප්තියට පත්වු දිනයේ පටන් පසුගිය සිකුරාදා දිනයේ, තමන් ජෝ බයිඩන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගි නොවන බව දැනුම් දුන් ට්විටර් පණිවුඩය දක්වාම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික ට්විටර් ගිණුම ඔහු භාවිතා කළේ ඇමරිකානු ජනපතිවරයාගේ නිල ට්විටර් ප්ලැට්ෆෝර්මය ලෙස ය.
පුරා සිව් වසරක් @realDonaldTrump යනුවෙන් හසුරවනු ලැබූ එම ට්විටර් ගිණුම පුද්ගලික මෙන්ම නිල පණිවුඩද ජනතාවට ලබාදුන්නේය. ඇමරිකාවේ නව ප්‍රතිපත්ති නිවේදනය වූයේ ද, දේශපාලන සතුරන්ට පහර දුන්නේද, හමුදාව යොදවා රටවල්වලින් පළිගන්නා බවට දිවුරුම් දුන්නේද, සිය රූපවාහිනී ජනප්‍රියත්වය ඉහළ යාම ගැන පාරම්බෑවේද ඒ හරහා ය. නනමුත් ඒ සියල්ලටම වඩා භයානක දේ වූයේ ඔහුගේ මිලියන 88 ක් වූ අනුගාමිකයන්ට (followers) සාවද්‍ය තොරතුරු, බොරු සහ වියරුව ඒ හරහා සන්නිවේදනය කිරීමයි. රාජකාරි අතරතුර ද ඔහු සිය ජංගම දුරකථනය වෙත යොමු ව සිටින ආකාරය සුලබ දසුනක් විය.
ජෝ බයිඩන්ට පරාජය වීමෙන් පසුව ට්‍රමප් සිය ට්විටර් ගිණුම භාවිතා කළේ එය දේශපාලන කුමන්ත්‍රණයක් බවට වන මතය රට පුරා ස්ථාපිත කරන්ටන ය. ඔහුගේ ප්‍රකාශවලට ට්විටර්, නැවත නැවතත් අනතුරු ඇඟවීම් (warning labels) ලබා දෙමින් සිටියේය. නමුත් නාටකය දිගටම රඟ දැක්විණි.
පසුගිය සතියේ බදාදා, ජනපති ට්‍රම්ප්ට පක්ෂපාතී වූ කැරළිකරුවන් පිරිසක් කැටපිල් හිල් වෙත කඩා වැදී ජනාධිපතිවරණයේ ඉලෙක්ට්‍රෝරල් කොලීජියේ ඡන්ද විමසීම් කඩාකප්පල් කර මැතිවරණ ප්‍රතිඵල විනාශ කිරීමට උත්සාහ දැරුවෝය.
මරණ හතරකට වඩා වාර්තා වූ එම සිද්ධියෙන් පසුව ට්විටර් සමාගම ට්‍රම්ප්ගේ ගිණුම පැය 12 කට අත්හිටුවීය. තවද ට්විටර් සමාජ ජාලයේ රීති උල්ලංඝනය කරමින් පළ කළ ට්වීට් සියල්ලම මකාදමන ලෙස ද ඉල්ලීමක් කළේය. නමුත් තමන් කෙරුමෙක් බව සිතාගෙන සිටීමෙන් නොනැවතී එය කියාපාන ට්‍රම්ප් මේවා කනකට ගත්තේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙසට පසුගිය සිකුරාදා දිනයේ පටන් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සම්පූර්ණයෙන්ම අක්‍රිය තත්වයට පත් කිරීම සිදුව තිබේ.

ට්විටර් වේදිකාවෙන් මෙසේ ඔහුව නෙරපා හැරීම (banishment) මෙසේ සිදුවන්නේ ඔහුට සහාය දක්වන්නන් පවා මේ අවසාන දින කිහිපය තුළ ඔහු මොනවා කරාවිදැයි සිතමින් සිටිනා අවස්ථාවක ය. මේ අනුව ඔහුගේ ට්විටර් ගිණුම අක්‍රිය කර දැමීම, ඔහුගේ ධුර කාලයේ අඳුරු අවසානය ගැන පෙර ඉඟියකි.
ෆේස්බුක් ගිණුමත් දින නියමයක් නැතිව අවලංගුයි
ට්‍රම්ප්ගේ නිල ෆේස්බුක් ගිණුම දින නියමයක් නැතිව අත්හිටුවන බව ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් 2021 ජනවාරි 7 වැනිදා පැවසුවේය. ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලය ද ෆේස්බුක් හිමිකරුටම අයත් වන අතර, එයට ද මේ ඉරණම ම අත් වී තිබේ.
ට්‍රම්ප්ගේ ෆේස්බුක් ගිණුම, මුලින්ම පැය 24කට අත්හිටුවනු ලැබුවේ කැපිටල් හිල් ප්‍රචණ්ඩකාරීන්ට ප්‍රශංසා කරමින් ඔහු විසින් පෝස්ට් 2 ක් පළ කිරිමත් සමග ය.
කෙසේ නමුත් මේ පියවර ගන්නා අවස්ථාව වන විට ඉතා වැදගත් වෙනසක් ට්‍රම්ප් ගේ රිපබ්ලිකන් පරිපාලනය විසින් සිදුකර තිබූ බව ද සඳහන් කළ යුතුය. එනම්, ඩිමොක්‍රටික්වරුන් ට සෙනෙට් සභාවේ බලය හිමිවීමෙන් පසුව, කොංග්‍රසය විසින් බයිඩන්ගේ ඉලෙක්ට්‍රෝරල් කොලීජි ඡන්ද බහුතරය සනාථ කිරීමෙන් පසුව ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල උප ප්‍රධානී ඩැන් ස්කැවිනෝ (Dan Scavino) ‘‘සාමාන්‍ය ආකාරයේ බල සංක්‍රාන්තියක් සඳහා තමන් කැප වන බව‘‘ පැවසුවේය.