MCC ඉරා දමන්න තියෙන හදිස්සිය මොකද්ද? එක එක්කෙනා කියන දේවල් අපට කරන්න බෑ – අලි සබ්
MCC ගිවිසුම වහාම ඉරා දැමිය යුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම සම්බන්ධ ඇතැම් පාර්ශ්ව කීවත් රජයට එවන් හදිසියක් නොමැති බවත් මෙම ගිවිසුම පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කර, රටට අහිතකර දේවල් ඉරා දමන්නටත් රටට හිතකර දේවල් පවතින්නේ නම් ඒවා ගැන සාකච්ඡා කර තීරණ ගන්නටත් හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම උපදේශකයකු ද වන මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.
“ආණ්ඩුවේ විවිධ සාමාජිකයින් ඉන්නවා, ඒගොල්ලො එක එක ඒවා කියනවා. හැමෝම කියන දේ අපට කරන්න බෑ. නමුත් වෙනත් රජයක් සමඟ අත්සන් කළ ගිවිසුමක්, ඇමරිකානු රජය සමඟ අත්සන් කළ ගිවිසුමක් අපට එහෙම ඉරා දමන්න බෑ. අපි ඒ පිළිබඳ අධ්‍යනය කරනවා, ඒවගේම අපි ඒක අත්සන් කරලාත් නෑ.
ඒක තේරුම් ගන්න ඕනෙ. අපට දැන් ශක්තිමත් රජයක් නෑ. පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂයට තමයි තියෙන්නෙ. ඒනිසා අපි කමිටුවක් පත් කරලා අධ්‍යනය කළා. දැන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කරලා තියෙනවා. අදම ඉරන්න ඕනෙ කියලා තියෙන හදිස්සිය මොකද්ද ? ඒ ගැන බලලා රටට අහිතකර දේවල් ඉරා දමනවා, රටට හිතරක දේවල් තියෙනවා නම් සාකච්ජා කරලා තීරණය කරන්න අවශ්‍යයි. හදිසි වෙලා තීරණ ගන්න බෑ. මේකෙ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිවිපාක තියෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අලි සබ්රි මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්රවෘත්ති විශේෂාංග වැඩසටහනකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මාධ්‍යවේදියා ප්‍රශ්න කළේ පොහොට්ටුව එදා ජනාධිපතිවරණ වේදිකාවේදී බලයට පැමිණි වහාම MCC ගිවිසුම ඉරා දමන බවට පොරොන්දු වුවත් අද එය ඉටු නොකිරීම සම්බන්ධයෙනි.