ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ සාරා ජෙස්මින් ඉන්දියාවට පලාගොස් ඇති බව තහවුරුවේ.

සයින්දමරුදු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අබු බකර් නම් පොලිස් නිලධාරියා, මීගමුව කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තූන්ගේ බිරිඳ සමග එකම රථයක ගමන්ගත් බවට ඇසින් දුටු සාක්ෂිකරුවෙකුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පාස්කු කොමිසම හමු වේ හෙළි වී තිබේ.

පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් මේ වන විට ඉන්දියාවට පලාගොස් ඇති බව ද විමර්ශනවල දී හෙළි වී ඇතැයි කොමිසම හමුවේ අනාවරණය විය.

ජනාධිපති විමර්ශන කොමිසමේ, විමර්ශන නිලධාරියෙකු වන ප්‍රධාන පොලිස් පරික්ෂක අර්ජුන මාහිල්කන්ද මහතාගෙන් ජනාධිපති විමර්ශන කොමිසම සාරා පිළිබඳ මෑතක දී හෙළි වු කරුණු විමසා සිටියේය.

එහිදී සාරා ජෙස්මින් ඇසින් දුටු අයෙකු පිළිබඳ කරුණු අනාවරණ කෙරිණි.

එම පුද්ගලයාගේ සාක්ෂියට අනුව ඉකුත් වසරේ සැප්තැම්බර් මස දිනක අලුයම 3.15ට  පමණ මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තේතාතිව් ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි අතුරු පාරක් වන බිච් රෝඩ්හි සිට සාරා ජෙස්මින්,තවත් දෙදෙනෙකු සමග ප්‍රධාන මාර්ගයට පිවිසෙනු ඔහු දැක තිබේ.

ඇය එම මාර්ගයේ පසක නවතා තිබූ බටර් පැහැති පිකප් රථයක පිටුපස ආසනයකට ගොඩවන අයුරුද දුටු බව සාක්ෂිකරු පවසා ඇත.

ඔහු තවදුරටත් සෝදිසි කිරීමේ දී දැක ඇත්තේ එම රථයේ රියදුරු අසුනට යාබඳව ඔහු දන්නා හඳුනන තවත් අයෙකු අසුන් ගෙන සිටි බවය.

එලෙස අසුන්ගෙන සිටියේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථා වේ කලවන්චිකුඩි පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව සිටි, මෑතක දී කොළඹ අපරාධ කොට්ඨාසයයේ අත්අඩංගුවට පත් අබුබකර් නම් නිලධාරියා ලෙස හඳුනාගත් බව ඇසින් දුටු සාක්ෂිකරු පවසා ඇත.

ඇති වූ සැකය මත සිද්ධිය ඇසින් දුටු පුද්ගලයා පොලිස් නිලධාරියා සමග කතාකිරීමට තම වාහනයෙන් බසින විටම පිකප් රථය මඩකලපුව දෙසට වේගයෙන් ඇදීගොස් තිබේ.

විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ සාරා ජෙස්මින් නැමැත්තියට ඉන්දියාවට බෝට්ටුවකින් පලායාමට අධාර උපකාර කළ දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තමන්ට තොරතුරු ලැබුණු බවය.

සාරා ජෙස්මින්ට ඉන්දියාවට පලායාමට උපකාර කර ඇත්තේ ඇයගේ මවගේ නැගණියගේ ස්වාමියා සහ ඔහුගේ සහෝදරයා බව ද විමර්ශන නිලධාරියා හෙළිදරව් කරගෙන තිබේ.