මැතිවරණ සිතියම : අප්‍රේල් 19න් පසු කොරෝනාවෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය සූදානමින්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාර්තු 02 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරවම ජුනි 02 වනදාට පෙර අනිවාර්යයෙන්ම මහමැතිවරණය පැවැත්වීමට රජය දැඩි තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
මැතිවරණය කල්දමනු ලැබුවේ මැතිවරණ කොමිසම විසින් වනහෙයින් අප්‍රේල් 30 වනදා සිට දින 14කට පසු, එනම් 15 වන දිනයේ හෝ මැතිවරණය පැවැත්විය හැකි බවත් ඊට දින නියම කිරීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමටම බවත් ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දෙනු ලැබුවේ ද එම තීරණයට සමගාමීව බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ඒ අනුව මැතිවරණ ව්‍යාපාරයෙහි පළමු පියවර වශයෙන් අප්‍රේල් 19 වනදායින් පසු ශ්‍රී ලංකාව කොරෝනා රෝගයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පෙරමුණු රජය සූදානමින් සිටින බව රජයේ ප්‍රබලයකුට අයත් වෙබ් අඩවියක් විසින් ඊයේ (09) අනාවරණය කර තිබිණි.

මාර්තු 31 වනදා සහ අප්‍රේල් 01 වනදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබුණේ මහමැතිවරණය මැයි මස අවසන් සතියේදී පැවැත්වීමට නම් ඊට සූදානම් වීම සඳහා තමන්ට සති 5ක කාලයක් අත්‍යවශ්‍ය වන බැවින් අප්‍රේල් 20 වනදා වනවිටවත් කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම රටෙන් තුරන් වී තිබිය යුතු බවය. අප්‍රේල් මස ආරම්භයේ තිබුණු තත්වය අනුව එවැන්නක් උපකල්පනය කළ නොහැකි හෙයින් මැතිවරණය මැයි මස අගදීත් පැවැත්වීමට නොහැකි වනු ඇති බව ඒ මහතා එයින් පෙන්වා දී තිබිණි.
කෙසේවෙතත් රජය මෙම නව තීරණයට අනුව අප්‍රේල් 19 වනදායින් ඇරඹෙන සතියේදී ශ්‍රී ලංකාව කොරෝනා අවදානමෙන් තොර රටක් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවහොත් මැතිවරණ කොමිසමට අනිවාර්යයෙන්ම මැයි මස අවසන් සතියේදී මැතිවරණය පැවැත්වීමට සිදුවනු ඇති.
කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු කාර්ය සාධක බලකාය නිර්මාණය කළේ ද ලොව හොඳම වැඩපිළිවෙල සකස් කළේ ද තමන් විසින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාර්තු මාසයේදීම ප්‍රකාශ කර තිබුණු අතර ඊයේ දිනයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන මහතා පැවසුවේ තම රජය තරම් කොරෝනා ව්‍යසනය හමුවේ ජනතාව වෙනුවෙන් පියවරගත් වෙනත් රජයක් ලොව නොමැති බවත් ලොව අනෙකුත් රටවල් කළේ හැකි අය බේරාගෙන සෙසු අය මැරෙන්නට ඉඩ හැරීම බවත්ය. සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා ද එහිදී පැවසුවේ සති දෙකක් තුළ කොරෝනා අවදානම සහමුලින්ම තුරන් වනු ඇතැයි රජය බලාපොරොත්තු වන බවය.
මේ ප්‍රකාශ මත පදනම් වෙමින් අඩුම කලකින් සහ අවම හානියකින් යුතුව ලෝකයේ කොරෝනා වෛරසය තුරන් කළ එකම රජය වශයෙන් තමන් නම් කරගනිමින් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කිරීමට ද කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

(LNW)