ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කොරෝනා වසංගතේට මුහුණ දෙන්නත් අපට බහුතරේ ඕනෑ. ඡන්දෙ කල්දාන්න බෑ – සුසිල් ප්‍රේමජයන්ත

කොරෝනා වසංගත තත්වය සහ ආර්ථික අර්බුදයට මුහුණ දීමට නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත්කර ගතයුතු හෙයින් මහමැතිවරණය කල්දැමීමට නොහැකි බවත් හැකි ඉක්මනින් මහමැතිවරණය පැවැත්විය යුතු බවත් එම පක්ෂයේ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කරයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

“ලෝකයේ කොරෝනා වැනි වෛරස් වසංගත, ලෝක ආර්ථිකයේ මතුවෙලා තියෙන තත්වයන් මේ සියල්ලත් එක්ක මේ අභියෝගයන්ට මුහුණ දෙන්න නම් – මේ ජනාධිපතිතුමා තව අවුරුදු පහක් අනිවාර්යයෙන්ම ඉන්නවා – ඒ ජනාධිපතිතුමාත් එක්ක ඔහුට සහයෝගය දීගෙන යන්න පුළුවන් මූල්‍ය පාලනය කරන පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම එතුමාගේ පාර්ශ්වයට බහුතර බලයක් ලැබිය යුතුයි. ඒක පිළිබඳ කිසිම සැකයක් නෑ. 

ඒනිසා ඉතාම පැහැදිලියි මේ වෙනකොට විපක්ෂයේ බොහෝදෙනා කල්පනා කරන්නෙ – විශේෂයෙන්ම සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය – ඔක්කෝමලා කතා කරන්නෙ මොකටද, මැතිවරණය පුළුවන් නම් කල්දාගන්න. 

නමුත් අපට තියෙන ප්‍රශ්නය මැතිවරණය කල්දැමීම තුළින් වෙන්නෙ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න තිබෙන පාර්ලිමේන්තුවක් අපට නිර්මාණය කරන්න බැරිවෙනවා. අයවැය ලේඛනයක් ඉක්මනටම අපි ඉදිරිපත් කරන්න ඕනෙ, ඒක කරන්න බැරි වෙනවා. ප්‍රාග්ධන යෙදවුම් කරන්න මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න ආදායම් මාර්ග සලසා ගන්න, ආයෝජන ගෙන්වාගන්න, මේවගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා විසඳාගන්න අපේ පාර්ලිමේන්තුවක් තුළින්. ඒනිසා එතුමන්ලාට කල්දමා ගැනීමට ඕනෑ වුණාට මහමැතිවරණය අපට අවශ්‍ය වෙන්නෙ හැකි ඉක්මනින් මහමැතිවරණය තියලා ශක්තිමත් ආණ්ඩුවක් තුළින් රටේ ජනතාවගේ ප්‍රශ්නවලට ප්‍රමුඛතාවය දෙන්න” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.