ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිලිබදව නව රජය අධ්‍යයනය කරනවා – රජය වෙනුවෙන් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි.

පසුගිය රජය සමයේ අත්සන් කරන ලද සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය අධ්‍යයනය කිරීමක් සිදුකරන බව සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා පාර්ශව අටක් ඉදිරිපත් කළ පෙත්සම් අද(06) විභාගයටගත් අවස්ථාවේ රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ එන්. විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව දැනුම් දුන්නේය.

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව අටක් ඉදිරිපත් කළ පෙත්සම් අද(06) විජිත් මළල්ගොඩ, එල්ල. ටී.බී. දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ඒ අනුව අදාළ පෙත්සම් ජූලි මස 13 වනදා යළි කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට නියම කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් රජය සමයේ සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් අත්සන් කර තිබෙන බවයි. එම ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතියක් ද ලබාගෙන නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන හෙයින් එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

වත්මන් රජය බලයට පත්වීමට ප්‍රථම ඒකාබද්ධ විපක්ෂය ලෙස MCC ගිවිසුමට මෙන්ම මෙම සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමටද දැඩි විරෝධයක් එල්ල කල නමුත් මේ වනවිට එම ගිවිසුම් දෙකම නැවත සලකාබලමින් සිටින අතර ඒ හරහා ඉදිරියේදී රටට අහිතකර මෙම ගිවිසුම් නන්දසේන රාජපක්ෂ පාලනය යටතේද ක්‍රියාත්මකවීමට ඉඩ ඇති බව මේ අනුව පෙනී යයි.

මේ අතර කිසිම හේතුවක් මත සිංගප්පූරු ගිවිසුම අහෝසි නොකරන බවත් එය සිංගප්පූරුවටද වාසිවන අයුරින් සකස් කරන බවත් දින 52 නීති විරෝධි ‘කුමන්ත්‍රණ ආණ්ඩුවේ‘ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කල බන්දුල ගුණවර්ධන මහතාද මීට පෙර ප්‍රකාශයක් සිදුකරන ලදි.