ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනතාවට සතුට – සැනසුම ගෙනෙන පාලනයක් ඇති කරනවා

ජනතාවට සතුට, සැනසුම හා මානසික සුවය ගෙන දෙන පාලනයක් ජාතික ජන බලය විසින් ඉදිරියේ දී රටේ ඇති කරන බව ජාතික ජන බලයේ ජනාධිපති අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. වසර ගණනාවක් පුරා පැවැති විනාශකාරී ගමන නවතා දමා සෞභාග්‍යයේ මාවත විවිර කර මේ රට නව වෙනසකට පරිවර්ථනය කළ යුතු කාලය පැමිණ ඇතැයි ද දිසානායක මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැති වැඩකරන ජනතා සමුළුවට සහභාගී වෙමිනි.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මෙම සමුළුව සංවිධාන කර තිබිණි.

වැඩකරන ජනතා සමුළුවේ දී සමුළු යෝජනාවක් ද ඉදිරිපත් විණි. ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩිකර ගැනීම, වැටුප් විසමතා ඉවත් කිරීම, අහිමි කළ හිඟ වැටුප් හා දීමනා දිනා ගැනීම, මෑන් පවර්, අනියම්, ආදේශක සේවකයින් ස්ථිර කිරීම ඇතුළු යෝජනා 14 ක් එහි ඉදිරිපත් කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කියා සිටියේය.

මේ අවුරුද්ද අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒ එළැඹෙන වසර 5 සඳහා අපි කවරාකාරයේ පාලනයක් ගොඩනඟන තරගයක් මිස හොඳට නිදි මරන්නා තෝරන හෝ හොර මුලකට හොඳම නායකයා තෝරන තරගයක් නොවේ. රටේ ඉදිරි වසර සඳහා අවශ්‍ය නායකත්වය තෝරා ගැනීමේ තරඟයක් පැවැත්වෙන්නේ. වසර 71ක් තිස්සේ රටට යහපත් පාලනයක් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව තිබුණා. නමුත් පසුගිය කාලය පුරාවට ජනතාවට නිවැරදි තෝරා ගැනීමක් කරන්නට හැකියාව ලැබී නැහැ. ඉතිහාසයේ ගත් වැරදි තීරණ නිසා රටත් ජනතාවත් විනාශකාරී අන්තයකට ගෙන ගියා. එම තීරණ වෙනස් කර නව නායකත්වයකට රට බාර දීමේ අවදියක් අපි ආරම්භ කරමු කියන යෝජනාව ජනතාවට කරන්න කැමැතියි.

මේ රටේ අදූෂිත දේශපාලන ක්‍රමය පළවා හැර රට ගොඩ නඟන්නට හැකියාව ඇත්තේ වෘත්තීයවේදීන්ටයි. ජාතික ජන බලවේගයේ වැඩකරන ජනතාව ඉන්නේ. ඒ නිසා රට ගොඩනැඟීමේ කාර්යය ජාතික ජන බලයට සිදු කරන්නට පුළුවන්. දේශපාලන බඳවා ගැනීම් අප මුළුමනින්ම නතර කර දමනවා. ඒ වගේම මිල දී ගැනීම් හා ඉදිකිරීම්, අලුත්වැඩියා කටයුතු පිළිබඳ විධිමත් ක්‍රියාපටිපාටියක් සකස් කරනවා. පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ද නිසි වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා. ජාතික සංවර්ධන සැලසුම් සකස් කිරීමේ දී ඊට පෞද්ගලික අංශය ද දායක කර ගත යුතුයි. වැඩිවන ජීවන අංකයට විධිමත් ක්‍රමයක් යටතේ වැටුප් වැඩිවීමක් අපි විසින් ලබා දෙනවා.

ඒ වගේ ම අධ්‍යාපන අයිතිය ද අපි තහවුරු කරනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වන සියයට 8ක පිරිසට වගේම අනෙකුත් සියලු දෙනාට ම තාරුණ්‍යයට ගැලපෙන රැකියා නැහැ. අපි රාජ්‍ය අංශයට බඳවා ගැනීම් උපාධිධාරීන්ගේ දැනුමට සරිලන ලෙස සිදු කරනවා. වතු කරයේ ජනතාවගේ ගැටලු, වැටුප් විෂමතා, නිවාරණය කරන්නට කටයුතු කරනවා. විශ්‍රාම වැටුප් නොලබන රාජ්‍ය සේවකයන් උදෙසා විශ්‍රාම වැටුප් ලබා දෙන්නටත් අපේ රජයක් යටතේ කටයුතු කරනවා. ඒ වගේම අවිධිමත් රැකියා ස්වයං රැකියා කරන සියලු දෙනාගේ සුරක්ෂිතභාවය අපේ රජයක් යටතේ ඇති කරනවා.

යහපත් ප්‍රවාහන පද්ධතියක් ඇති කර පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න අපි කටයුතු කරනවා. ඒවගේම පාසල් තුළින් ඉවත් වෙලා තිබෙන අධ්‍යාපන ක්‍රමය අපි නැවත පාසල්ට ගෙන එනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීම, නව නිෂ්පාදන ඇති කිරීමෙන් අපිට මේ දේවල් කරන්න පුළුවන්. මේ රට හදන්න බැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක වැරදියි. මේ රට හදන්න පුළුවන් රටක්. ඒ නිසා මේ රට විනාශ කිරීමේ මාවත අද සිට වසා දැමිය යුතුයි වගේම රට ගොඩනැඟීමේ අලුත් මාවතක් කරා අවතීර්ණ විය යුතුයි. ඒ ගමන යාමට එක් වන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා

කේ.ඩී.ලාල් කාන්ත මහතා- අද අපේ රටේ දේශපාලනය ගැන විවිධ සාකච්ඡා මතු වෙනවා. දේශපාලනය කුණු වෙලා කියලා කියනවා. ඒ වගේම මේ දේශපාලනය වෙනස් කරන අපෙක්ෂකයන් ගැනත් සාකච්ඡාවක් තිබෙනවා. මේ කුණු දේශපාලනය ගොඩනැඟීම අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ කියලාත් සාකච්ඡාවක් තිබෙනවා. ඒ අපේක්ෂකය කවුරු වුවත් රටට සුබදායි අයෙක් විය යුතු බව ජනතාව හිතනවා.

මෙහිදී අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, මහතා ද අදහස් පළ කළ අතර වෘත්තීය සමිති රැසක නියෝජිතවරු පිරිසක් මේ අවස්ථාවට එක් වුහ.