ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-01Slider

බොරදියේ මාළුබාන රාජපක්ෂලාගේ දේශපානය පිටුදකිමු.

ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයන් එකසිය පනස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇත. ඉහත ක්‍රියාවලට යොදාගත හැකි ආම්පන්න හා පුපුරණ ද්‍රව්‍ය රැසක් ද වාහන කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. අන්තවාදයට හා ආගමික ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් සාර්ථක ව සිදුවන බව එයින් පෙනී යයි. බුර්කා ඇඳුම හා “‍ෆුල්ෆේස්” හෙල්මට් පැළැඳුම ද තහනම් කර තිබේ. අන්තවාදී සංවිධාන දෙකක් ලෙස හඳුන්වන තවුහිත් ජමාත් හා ජමාතේ මිල්ලතු සංවිධාන දෙක ද තහනම් කර ඇත. නීතිය පැත්තෙන් ත්‍රස්තවාදයට වැට බැඳීම ද සිදුවන බව එයින් පෙනී යයි. මෙය සාධනීය තත්ත්වයකි.
මේ අතර ලෝක ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය රෝහාන් ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට මෙරට අයි.එස්.අයි.එස්.ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීමේ හැකියාව ඇති බවය. එය හොඳ සහතිකයක් බව පෙනී යයි. සයින්දුමරදු මෙහෙයුමේ දී තවත් වැදගත් සාධකයක් හෙළි විය. එනම්; සාමාන්‍ය මුස්ලිම් ජනතාව ආගමික අන්තවාදයට විරුද්ධ බව හා ත්‍රස්තයන් අල්ලාගැනීමට සහයෝගය දක්වන බවය. සයින්දුමරදු මෙහෙයුම සාර්ථක කරගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දී ඇත්තේ කල්මුණේ ජනතාව බව ආරක්ෂක අංශ ස්තූතිපූර්වකව දන්වා ඇත.
දැනට ලැබී ඇති තොරතුරුවලින් පෙනී යන්නේ අන්තවාදීන් පන්සල්වලට මෙන් ම කෝවිල්වලට ද පහරදීම සඳහා සූදානමින් සිටි බව ය. මෙය භයානක තත්ත්වයකි. මුළු රට ම අස්ථාවර කිරීමේ සැලැසුමක් ත්‍රස්තයන් ළඟ තිබෙන්නට ඇත. බුර්කා ඇඳුමට මුවා වී අවි – ආයුධ ගෙන යා හැකි ය. මරාගෙන – මැරෙන ප්‍රහාර ක්‍රියාත්මක කළ හැකි ය. කාන්තාවන් යොදාගෙන බලවත් ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට ත්‍රස්තයන් අර -අඳින්නට ඇතැ’යි සිතන්නට පුළුවන. මේ අවස්ථාවේ බුර්කා ඇඳුම තහනම් කිරීම ඉතා කාලෝචිත ය. මුස්ලිම් සංවිධාන කිහිපයක් ද එය තහනම් කරන ලෙස ඉල්ලීම් කර තිබිණි. ඒ අනුව ජාතික ආරක්ෂාව පතා බුර්කාව තහනම් කිරීමේ කිසිදු වරදක් නැත.
ආරක්ෂක අමාත්‍යාංශයේ නියමයට අනුව ජාතිවාදය හෝ ආගම්වාදය හෝ අවුළුවනසුලු ප්‍රකාශ නිකුත් කිරීම තහනම් ය. එබඳු වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීම ද තහනම් ය. නීතිය කඩකරන අය තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදෙන බව ද ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි. අප මුහුණ දී සිටින අවස්ථාවට ගැළපෙන හොඳ තීරණයකි. එහෙත් කටකතා පැතිරීම ද අසත්‍ය ප්‍රකාශ නිකුත් වීම ද තවදුරටත් සිදුවෙයි. මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන වාචාල මන්ත්‍රීවරුන්ගෙන් එක් අයෙකු වන පියල් නිශාන්ත  රූපවාහිනී සාකච්ඡාවක දී කියා ඇත්තේ සයින්දුමරදු මෙහෙයුමේ දී ආරක්ෂක අංශයේ එකොළොස් දෙනකු මිය ගිය බව ය. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ද ඔහු අනතුරු හඟවා ඇත. මෙය අමූලික බොරුවක් බව ආරක්ෂක අංශ තහවුරු කරයි.
මහජන නියෝජිතයකු නො ව; සාමාන්‍ය පුරවැසියකු වුව වගකීම් විරහිත ලෙස අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළැකිය යුතුය. විශේෂයෙන් මෙබඳු සංවේදී අවස්ථාවක ආදර්ශවත් ලෙස හැසිරිය යුතුය. මේ තත්ත්වය වටහා නොගත් මෙවැනි පුද්ගලයන් දේශපාලනයට ගැළපෙන්නේ නැත. සයින්දුමරදු මෙහෙයුම සිදු වූ දිනයේ ම එහි ඇත්ත තත්ත්වය විශේෂ ප්‍රවෘත්ති ඔස්සේ විකාශය විය. එහි දී සඳහන් වූයේ සිද්ධියෙන් ති‍දෙනකු පමණක් රෝහල්ගත කර ඇති බව ය. ඔවුන් ආරක්ෂක අංශ නිලධාරීන් නොවන බවද ප්‍රවෘත්ති විකාශයේ සඳහන් විය. රාජපක්ෂ කල්ලියේ අදාළ මන්ත්‍රීවරයා කිසිදු මූලාශ්‍රයක් නැති ව මෙබඳු භයානක ප්‍රකාශයක් කරන්නේ කෙසේ ද? ඔහුගේ අරමුණ වුයේ මෙම ප්‍රහාරය හමුවේ බොරදියේ මාලුබෑමය. රට තව තවත් අස්ථාවර කිරීම හරහා තමා නියෝජනය කරන රාජපක්ෂ කල්ලිය නැවත බලයට ගෙනඒමට පාර කැපීමය. ජීවිත හෝ දේපල විනාශවීම රාජපක්ෂ කල්ලියට අදාලම නැත.එය තවත් තහවුරු වන්නේ මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමට තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ගෝඨාභය රාජපක්ෂ සිදුකල ප්‍රකාශය හරහාය. මේ මොහොතේ ඔවුන්ට අවශ්‍ය රට පත්ව ඇති විපත පිලිබදව සාමුහිකව කටයුතු කිරීම නොව එම විපත තම බලඋවමනාව වෙනුවෙන් යොදාගැනීමය.
මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රාජපක්ෂ කල්ලියේ හැසිරීමෙන් එය මනාව තහවුරුවේ. ඔවුන් මෙම ප්‍රහාරය යොදාගත්තේ විපත සැපතක් කරගැනීමටය. තම පාලන කාලය තුලද වගකියයුතු මෙම මුස්ලිම් අන්තවාදීන්ගේ නැගීටීම පිලිබදව ඔවුන් පුන පුනා කීයාසිටින්නේ අපි සිටියානම් මෙසේ වෙන්නේ නැති බවයි. මෙම ප්‍රහාරය පිලිබද බුද්ධි අංශ වාර්තා මහින්ද රාජපක්ෂ මහතා වෙතද කලින්ම ලැබී තිබුණි. ජනාධිපතිවරයා, කැබිනට් ඇමතිවරු මෙන්ම මහින්ද රාජපක්ෂ කල්පනා කලේ තම ආරක්ෂාව පිලිබදව පමණි. රටේ ජනතාව මෙම තත්වය පිලිබදව සොයා බැලීම වැදගත් ය.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ගිය ඉරිදා දේව මෙහෙය පවත්වමින් කියා සිටියේ හදවතින් නො ව; බුද්ධියෙන් ක්‍රියා කිරීමට කාලය පැමිණ ඇති බව ය. මේ ඛේදවාචකය වටහා ගැනීමට මෙන් ම එකිනෙක පුද්ගලයන් තේරුම් ගැනීමට ද අප වෑයම් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන් සේක. කතෝලික ජනතාව මේ සංවේදී අවස්ථාවේ ඉතා සංයමයෙන් හා බුද්ධියෙන් ක්‍රියා කරන්නට ඇත්තේ කාදිනල් හිමිපාණන්ගේ දූරදර්ශී උපදේශන නිසා යැයි සිතන්නට පුළුවන. අගරදගුරුතුමන්ගේ උපදේශනය රටේ කාටත් වැදගත් ය. විශේෂයෙන් දේශපාලකයන්ට අතිශය වැදගත් ය. ඇතැම් දේශපාලකයන් පවත්නා තත්ත්වයට මුවා වී ජාතිවාදය හා ආගම්වාදය අවුළුවනසුලු ප්‍රකාශ සිදුකරන බව පැහැදිලි ය. රූපවාහිනී සාකච්ඡාවක දී බේගල් ඇදබාන මන්ත්‍රීවරයා ගැන මෙන්ම බොරදියේ මාළුබාන රාජපක්ෂලාගේ දේශපානය ගැන කිව යුත්තේ ද ඒ ටිකම ය.
සිද්ධියෙන් දේශපාලන වාසි ලබාගැනීමට වෑයම් කරන දේශපාලකයන් පමණක් නො ව; ඇතැම් ජනමාධ්‍ය පවා වගවීමකින් තොරව ප්‍රවෘත්ති පළකරන බවක් පෙනෙයි. ‘බුර්කා’ ඇඳුම තහනම් කිරීමේ යෝජනාවට අගමැතිවරයා විරුද්ධ වූයේ යැයි ප්‍රවෘත්තියක් ජනමාධ්‍ය කිහිපයක ම පළ වී තිබිණි. මේ ප්‍රවෘත්තිය නිවැරැදි කරන්නට අගමැති කාර්යාලයට සිදු විය. එහෙත් ප්‍රවෘත්තිය පළ කිරීමෙන් සිදු වූ අගතියට කිසිවකු වගකියන්නේ නැත. රාජපක්ෂ කල්ලියට අයත් වෙබ් අඩවි සහ මාධ්‍ය ආයතන මේ මොහොතේ හැසිරෙන්නේ නිරුවතිනි. සමාජ මාධ්‍ය එක අතෙකින් අතිශයෝක්තියට නංවන ලද දේවල් පළ කරයි. ඒ ඔස්සේ කටකතා වෙන ම පැතිරෙයි. බොහෝ විට මේ ප්‍රවෘත්තිවල හා විචාරවල ඇත්තේ ගිනියම් අදහස් ය. ඒවා දකින, බලන, අසන අයගේ කෝපය ඇවිස්සෙයි. සමාජයක කෝපය ඇවිස්සීම තරම් නරක දෙයක් තවත් නැත.
එක අතෙකින් ජනතාව ප්‍රකෝප කිරීම නැවැත්විය යුතුය. තව අතෙකින් දේශපාලකයන් හා සමාජ නායකයන් බුද්ධියෙන් ක්‍රියා කළ යුතුය. එලෙසම වගවීමකින් යුතු ව අදහස් ප්‍රකාශ කළ යුතුය. බුද්ධි අංශ එදා හොඳ බවත්; අද නරක බවත් සමහරු කියති. වර්තමාන බුද්ධි අංශ දුර්වලනම්; ඉතා කෙටිකාලයක් තුළ දී ත්‍රස්තයන් එකසිය පනස් ගණනක් අත්අඩංගුවට ගන්නේ කෙසේ ද? දේශපාලකයන් ආරක්ෂක අංශ විවේචනය කිරීමෙන් වැළැකිය යුතුය. අවම ලෙස මේ ගැටලුවෙහි උණුසුම පහවී යන තුරුවත් විවේචන නැවැත්වීම වැදගත් ය. ඉනික්බිති කුමන හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ දේශීය – විදේශීය පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුය.
කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන ලෙස හදවතින් නො ව; බුද්ධියෙන් මේ ප්‍රශ්න දෙස බැලිය යුතුය. එවිට බොරුව යට ගොස් ඇත්ත උඩට මතු වනු ඇත.