ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 7500ක දඩයක්.

බීමතින් රිය ධාවනය කරමින් පසුගිය 31 වැනිදා අලුයම අනතුරක් සිදුකළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7500ක එනම් එක් ටෙස්ට් තරගයක තරග ගාස්තුව දඩයක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 13කට අධික මුදලක්) ලෙස පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.
අනතුර සිදුවූ දිනයේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ දිමුත් කරුණාරත්නට එරෙහිව ‘ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට’ අනුව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන බවයි.

කෙසේ වෙතත් දිමුත් විසින් පැදවූ රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවූ එම අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරු සුළු තුවාල ලබා තිබුණද ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදුවී තිබිණි. නමුත් එම අනතුරට පත් වූ ත්‍රිරෝද රථය වෙනුවට නව ත්‍රිරෝද රථයක් ලබාදීමට තමා  එකඟ වන බවද දිමුත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය වෙත දන්වා තිබිණි.

මෙහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ දිමුත් කරුණාරත්න ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසයි. එමෙන්ම වෛද්‍ය පරික්ෂණයක් සදහා ඔහුව නුගේගොඩ පිහිටි ජාතික රථවාහන මධ්‍යස්ථානයේ වෛද්‍ය පරික්ෂණාගාරය වෙත යොමු කරන ලෙසද පොලිසියට නියෝග කර සිටියා.