ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වලක්වන්න’ – පුංචි අම්මාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පන නීතියක් නොමැති හෙයින් ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහුගේ පුංචි අම්මා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මධුෂ් නමැත්තාගේ මවගේ සොයුරියක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචි ඒ. ඩබ්ලිව්. ශ්‍රියානි නමැත්තිය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සම්කාරිය කියා සිටින්නේ දැනට විදේශගතව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පදනම් විරහිතව කටයුතු කරමින් සිටින බවය. මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, මාකඳුරේ මධුෂ් අත් අඩංගුවට ගැනීමට වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
මධුෂ් නැමැත්තා 1979 වසරේ මෙලොව එලිය දුටු අතර ඔහුට වසර 10ක් ගතවෙද්දී 1989 වසරේදී යුද හමුදාව විසින් ඔහුගේ මව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවාය.
මෙම ඝාතනය පසුපස ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ඩැනී හිත්තැටියගේ පවුලේ අය සිටින බව මධුෂ්ගේ පවුලේ අය තදින්ම විශ්වාස කරයි. මධුෂ් රෝහල් උපස්ථායකයෙකු ලෙස සිය ජීවිකාව ඇරඹීය. පසුව හෙදියක සමඟ විවාහ විය. හෙතෙම එක් දරු පියෙක් ද වේ. ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගේ ජීවිත තර්ජන හමුවේ හෙතෙම තම උපන් නගරයෙන් පලා ගියේය.

පසුව මධුෂ් විවිධ චෝදනා යටතේ රිමාන්ඞ් භාරයට පත්විය. රිමාන්ඞ් බාරයේ සිටියදී ද ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල විය. මෙම තත්ත්වය හමුවේ ඔහු තම ජීවිත ආරක්ෂාව පතා සිය පුත‍්‍රයා සමඟ විදෙස්ගත විය. හෙතෙම ඉකුත්දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට පත්විය.

මෙම  මූලික අයිතිවාසිකම් පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස පොලිස් විශේෂකාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පතිවරයා හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.