කරන්නාගොඩට ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය – අත්අඩංගුවට නොගන්නැයි CIDයට නියෝගයක්.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය රහස් පොලීසිය වෙත තහනම් නියෝගයක් නිකුත් කළේය.
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විසින් නියෝග නිකුත්කරනු ලැබුවේය.
මෙහිදී විනිසුරු මඩුල්ල කරන්නාගොඩ මහතාට නියෝග කර සිටියේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වළකින ලෙසයි.
එමෙන්ම ලබන 11 වනදා පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද අධිකරණය විසින් කරන්නාගොඩ මහතාට නියම කරනු ලැබුවේය.
මෙම නඩුවට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කරන්නාගොඩ මහතා අධිකරණය හමුවේ පොරොන්දු වී තිබුණේ තමන් අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් බවටත් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීමක් සිදු නොකරන බවටයි.
පෙත්සමට අදාළ කරුණු සහ කරන්නාගොඩ මහතා විසින් අධිකරණයට ලබාදී ඇති එම ප්‍රතිඥාව සැලකිල්ලට ගෙන මෙම තහනම් නියෝගය නිකුත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සඳහන් කළේය.
කෙසේ වෙතත් පෙත්සම්කරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙම නියෝගය තුළින් කිසිදු බාධාවක් නීතිපතිවරයාට හෝ රහස් පොලිසියට නොමැති බවද විනිසුරු මඩුල්ල අවධාරණය කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ පරීක්ෂණ කටයුතු බොහොදුරට අවසන් වී ඇති බවත් පෙත්සම්කරුගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද අවශ්‍යව ඇති බවයි.
පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවට ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී දන්වා සිටියේය.
මෙහිදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ මහතා ප්‍රකාශ කළේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කළොත් ඉන් මෙම පරීක්ෂණ වලට බාධා සිදුවිය හැකි බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව මෙම නියෝග නිකුත් කරනු ලැබුවේය.