තාජුඩීන් ඝාතනයට සුමිත්ට අනුරට ආනන්දට නඩු..! ඝාතකයින් නිදැල්ලේ..! විමර්ශන ප්‍රගතිය අවම වෙලා !
හිටපු රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් ලෙස නම් කර ඇති නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා, හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන අයට එරෙහිව නඩු පැවරීම සඳහා කටයුතු කරගෙන යන බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (28) අධිකරණය දැනුම් දුන්නේය. ඒ, එම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
හිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දන්වා සිටියේ ඝාතනය සිදු කෙරුණු දින අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය වාහන හතරක් පිළිබඳව විමර්ශන සිදු කෙරෙන බවයි.
එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් ලෙස කටයුතු කළ යුධ සහ නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුගේ ගමන් බිමන් පිළිබඳ පරීක්ෂණ සිදු කෙරුණමුත් ඔවුන්ගේ ගමන් පිළිබඳ රාජකාරි වාර්තා අස්ථානගතව ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
ඝාතනයට ලක්වූ වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය සහ වාහනය ඇසුරින් විමර්ශන කළ ද වැදගත් තොරතුරු කිසිවක් සොයාගැනීමට නොහැකි වී ඇති බවත් ඒ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම විමර්ශනයේ සාක්ෂි සොයාගැනීමේ ප්‍රගතිය අවම මට්ටමක පවතින බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, සාක්ෂි පවතින්නේ නම් සැකකරුවන්ට නඩු පවරණ ලෙස විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් නියෝග කළේය.
පැමිණිල්ල ජුනි මස 27 වනදා යළි කැඳවීමට නියමිතය.