රන්ජන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල මාර්තු 13 කැදවීමට නියෝග
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මාර්තු මස 13 වනදා නැවත කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පැමිණිල්ලට අදාළ ඉදිරි පියවර සලකා බැලීම සඳහා එය ලබන 13 වැනිදා කැඳවන බවයි.
රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ලේ සඳහන් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත්කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ඒ මහතා සිදු කරන ලද ප්‍රකාශයක් තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රංජන් රාමනායක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් සිතාසි නිකුත් කර නොතිබුණ ද අධිකරණයට කරන ගෞරවයක් වශයෙන් ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.
මෙම පැමිණිල්ලට අදාළව මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා තිබෙනවා.